fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPශ්‍රී ලංකා පොලිසියේ එකම DIG අඹුසැමි යුවළ

    ශ්‍රී ලංකා පොලිසියේ එකම DIG අඹුසැමි යුවළ

    ශ්‍රී ලංකා පොලිසියේ ඉතිහාසය ලියැවෙන්නේ හරි අපූරු ආකාරයකටය.

    එම ඉතිහාසය පිරිස්සීමේදී දයානන්ද සහෝදරයෝ ප්‍රසිද්ධියට පත්ව සිටියේ ශ්‍රී ලංකා පොලීසියේ සිටි පිහිණුම් ශූරයින් ලෙසිණි. පවුලේ සහෝදරයින් පස් දෙනාම සිටියේ පොලීසියේය. පාසල් කාලයේදී පවා දයානන්ද සහෝදරයෝ පිහිණුම් තටාකයේ ජය කෙහෙළි නැන්වූවෝය. ඒ අයගෙන් ලත්ෂමන් සහ රණදේව යන සහෝදරයින් වසර 10 ක පොලිස් සේවයෙන් පසු විදෙස්ගතවන අතර කිත්සිරි, රංජිත් සහ ධම්මික යන සහෝදරයින් විශ්‍රාම යන තුරුම පොලිස් සේවයේ නිරතව සිටියේය. කිත්සිරි සහ ධම්මික විශ්‍රාම යන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසිණි. රංජිත් විශ්‍රාම යන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙසිණි.

    එසේම වික්‍රමසිංහ සහෝදරයින්ද පොලිස් ඉතිහාසයේ වාර්තාවක් තබා ඇති සහෝදරයින් තිදෙනෙකි. හරිච්චන්ද්‍ර, ජයන්ත සහ වසන්ත යන සහෝදරයින් තිදෙනොම පොලිස් සේවයේ එකවර නියෝජ්‍ය පොලිස්පතිධුර දැරුවෝය. එය පොලිස් ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවකි. එවන් සුවිශේෂී අවස්ථාවකට උරුමකම් කියන්නේ මුණසිංහ සහෝදරයින්ය. ශ්‍රී ලංකා පොලීසියේ මේ වන විට සේවයේ නිරතව සිටින දෙවැනියා වන නන්දණ මුණසිංහ සහ ඔහුගේ සහෝදරයා වන රංජිත් මුණසිංහ එකවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරවල කටයුතු කිරීමේ දුර්ලබ අවස්ථාව උදාකර ගත්තේය. රංජිත් මුණසිංහ මෑතකදී විශ්‍රාම ගිය අතර නන්දන මුණසිංහ මේ වන විට පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටී.
    එසේම ජයතිලක සහෝදරයින්ද ශ්‍රී ලංකා පොලීසියේ වාර්තා පොත් අතරට ඇතුලත්ව ඇත්තේ බොක්සින් ශූරයින් ලෙසිණි.

    මෑතක් වන තුරුම ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම නිලයක සිටි අඹුසැමි යුවල වූයේ මේ වන විට පොලිස් රෝහලේ අධ්‍යක්ෂිකාව ලෙස සේවයේ නිරතවව සිටින මදාරා ආරියසේන සහ ඇගේ සැමියා වන කොළඹ මධ්‍යම කොට්ඨශය භාර පොලිස් ප්‍රධානී සී.එම්.එන්.ටී. චන්ද්‍රෙස්කර යන නිලධාරීන්ය. මේ දෙදෙනාම 2008 වසරේ නොවැම්බර් 03 වෙනිදා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූවන්ය. මේ වන විට ඔවුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස සේවයේ නිරතව සිටින අතර මෙතෙක් ශ්‍රී ලංකා පොලීසියේ බිරිද හා සැමියා දෙදෙනාම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධූර දැරූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
    දැන් එම වාර්තාව තවත් අලුත් වී ඇත්තේ බිරිද සහ සැමියා යන දෙදෙනාම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වීමේ දුර්ලභ අවස්ථාවක් උදාවී ඇති බැවිණි. විශේෂත්වය වන්නේ දෙදෙනාම මේ වන විට පොලිස් සේවයේ නිරතව සිටීමය.

    සැමියාවන්නේ කළුතර දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්නය, බිරිද පොලිස් සැළසුම් හා සංවර්ධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශානි සෙනෙවිරත්නය.
    මේ දෙදෙනාම ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වන්නේ උප පොලිස් පරීක්ෂකවරුන් ලෙසිණි. ඒ එවකට ජාතික බුද්ධි කාර්යංශය ලෙස හදුන්වනු ලැබූ වරථමානයේ රාජ්‍ය බුද්ධි සේවයටය. මහින්ද ගුණරත්න පොලිස් සේවයට එක්වන්නේ 1988 වර්ෂයේදීය. නිශානි සෙනෙවිරත්න පොලිස් සේවයට එක්වන්නේ 1987 වර්ෂයේදීය. දෙදෙනා දැන හදුනාගන්නේ බුද්ධි සේවයේදීය.
    මහින්ද කුළියාපිටිය සාරනාත් මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විදයාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබද පිළිබද මූලික උපාධියත් එම විශ්ව විදයාලයෙන්ම අපරාධ විද්‍යාව පිළිබද පශ්චාත් උපාධියත් හිමිකරගෙන කොළඹ විශ්ව විදයාලයෙන් ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධියත් හිමිකරගෙන ඇති නිලධාරියෙකි.
    1995 වසරේදී ප්‍රභූ ආරක්ෂක අංශයට රාජ්‍ය බුද්ධි සේවයෙන් නිදහස් වන ඔහු ප්‍රභූ ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කර ඇත. 1998 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරුන් බදවා ගැනීමේ තරග විභාගයට මුහුණ දී ඉහළින්ම සමත්වන ඔහු 1999 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේ පොලිස් පරීක්ෂකවරයෙක්ව සිටියදීය.

    අනතුරුව චන්ද්‍රිකා ආණ්ඩුව සමයේදී ජනාධිපති ආරක්ෂක අංශයට එක්කර ගන්නා ඔහු වැඩි කාලයක් සේවයේ නිරතව සිටින්නේ ජනාධිපති ආරක්ෂක අංශයේය. ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ලෙසද වරක් ඔහු කටයුතු කළේය. පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම් ලබා කිලිනොච්චිය, කෑගල්ල යන දිසා භාරවත් විශේෂ ආරක්ෂක දිසාව භාරවත් කටයුත කර මෑතකදී කළුතර දිසාවභාර පොලිස් ප්‍රධානියා ලෙස පත්විය.

    මහින්දගේ පියා වතු පාලකයෙක් වන අතර මව ගෘහණියකි. එහෙත් නිශානිගේ පවුල පොලිස් පවුලකි. මවත් පියාත් දෙදෙනාම පොලිසීයේ සේවය කළ නිලධාරීන්ය. ඒ දෙදෙනාම විශ්‍රාම යන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස වීම විශේෂිතය. එයද පොලිස් ඉතිහාසයේ වාර්තාවකි. එවකට බිරිද හා සැමියා දෙදෙනාම පොලීසියේ එතරම් ඉහළ තනතුරක රැදී සිට ඇත්තේ ඔවුන් දෙදෙනා පමණි.

    නිශානිගේ මව නන්දා සෙනෙවිරත්නය. ඇය 1958 වසරේ දී ශ්‍රී ලංකා පොලීසියට කොස්තාපල්වරියන් ලෙස එක්වූ පස් වෙනි කාන්තා කණ්ඩායමේ සාමාජිකාවකි. එදා පොලීසියට බදවා ගත් කාන්තා නිලධාරින් 13 දෙනෙකි. ශ්‍රී ලංකා පොලීසියේ පළමු සැරයන්වරියගේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය දක්වා වූ සෑම තනතුරක්ම දැරූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස ඉතිහාසයට එක්වූ ප්‍රමිලා දිවාකර මහත්මිය ද සිටියේ මෙම කණ්ඩායමේය.

    නිශානි මාළඹේය. පාසල් ගියේ කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලයකටය. ඇය පොලීසියට එක්වූ දා සිට මේ දක්වාම සේවයේ නිරතව සිටයේ රාජ්‍ය බුද්ධි සේවයේය. ඇය පොලීසියට එක්වන්නේ රාජ්‍ය බුද්ධි සේවයට කාන්තා උප පොලිස්පරීක්ෂකයින් බදවා ගත් පළමු කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසිණි. එසේ බදවා ගනු ලැබුවේද තිදෙනෙකුගේ කන්ඩායමක් පමණි. ඒ අය අතර සිටි දීපානි නැමැති නිලධාරිනිය පසු කාලයේ පොලිස් සේවයෙන් ඉවත්ව යන අතර ඉතිරිවන්නේ නිශානි සහ තිලිනා ජයවර්ධන යන දෙදෙනා පමණි. තිලිනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයක් ලෙස කටයුතුකර අතර මේ දිනවල ඇය සිටින්නේ අසල්වැසි රටක පිහිටි මෙරට මහකොමසාරිස් කාර්යාලයකට සම්බන්ධව සේවයේ නිරත වෙමිනි.

    ජාතික ආරක්ෂක බියුරෝවේදී දැනහදුනාගත් මහින්දත් නිශානිත් පෙම්වතුන් බවට පත්ව විවහා දිවියට එළඹෙන්නේ 1998 වසරේදීය. ඔවුන් දෙනාට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන අතර බාලයා මෙවර සාමාන්‍ය පොළ විභාගයට මුහුණ දී උසස් ලෙස සමත්ව උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට සූදානමින් සිටියි.

    මහින්ද සහ නිශානිගේ මෙම වාර්තාව තවත් දින කිහිපයකින් වෙනස් වනු ඇත. ඒ මහින්ද තවත් පියවරකින් උසස්වීමක් ලැබීමට නියමිතව ඇති බැවිණි. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයටය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.