fbpx
තවත්
    මුල් පිටුවඅමරබන්දුගේ වාඩියරට හරි මගට වැටී ඇතිබව අමරබන්දුට වැටහුනි

    රට හරි මගට වැටී ඇතිබව අමරබන්දුට වැටහුනි

    අමරබන්දු කුකුළත් කරේ තියාගෙන අමාත්‍යංශයට රීටුවේ මාස කිහිපයක් තිස්සේ ආණ්ඩුවේ කන්තොරුවේ ලිපිගොණු අතරේ ප්‍රමාදවෙමින් තිබෙන සිය ලිපිය මැම්බර් හාමුලවා හෝ කරවා ගැනීමට වූ අවසන් අරමුණිනි. සිතුවාට වඩා වේල පහින් අමාත්‍යංශය වෙත පැමිණීමට හැකිවුවද හිමිදිරි වැඩි බැවින් එහි දැවැන්ත ගේට්ටු පලු දෙකම ඉබි යතුරු දමා තද කොට තිබුණි. ෆයිල් කවරය කිහිළි ගන්වාගෙන ගේට්ටුව මුල ඇණතියාගත් අමරබන්දු දවසේ පළවෙනි බුලත්විට ඔතන්නට වූයේ දිනය බෙහෙවින් දිගු එකක් වීමට ඉඩ තිබූ බැවින් තවත් විට කිහිපයක්ම අමාත්‍යංශයේදීම හැපීමේ අපේක්ෂාවෙනි.

    හීනයකින් මෙන් අමරබන්දු දුටු දසුන ඔහුගේ දෑස් විශ්මයේ ගිල්වන්නට සමත් විය. වේලාව හිමිදිරි හයේ කණිසම වැදුනා පමණි. වැඩිය අව්වට වැස්සට හසු නොවූ රන්වන් පැහැති සමක් සහිත හීන්දෑරි හාදයෙක් අමාත්‍යංශ ගේට්ටුව අසල නැවතූ සිය ප්‍රාඩෝ රථයෙන් බැස එහි ගේට්ටුව සිය දැතින්ම විවෘත කරනු අමරබන්දු දුටුවේය. 

    “අඩේ කවුද මේ.. රුක් දෙයියෙක්වත්ද” අමරබන්දුහට ඉබේටම කියවුනි.

    ගේට්ටුව විවෘත කරන අතරේම අමරබන්දු ඇමතූ අමරබන්දුගේ රුක්දෙයියා

    “ලොකු උන්නැහේ මිනිස්ට්‍රියට යන්නද.. එන්න යමු” එකී කාරුණික ආරාධනයෙන් අමරබන්දු අන්ද මන්ද විය, ඔහු සිය දෑස් පිසදා බැලීය, කන් අතගා බැලීය.

    කතාව ඇත්තකි, සිහිනයක් නොවේ.

    “ඇයි බයවෙලා… මම ඇමතිතුමා අර අලුතෙන් පත්වුනේ”

    අමාත්‍යංශ ගොඩනැගිල්ලේ දොර විවෘත කළේද ඔහුගේ ශ්‍රී දෑතිනි.

    “අපි තේකක් බොමු”, මැම්බර් හාමු අමරබන්දුට තේ සදා දුන්නේය

    “අපි උදේම වැඩ පටන් ගන්න ඕනෙ, එහෙම නැතුව මේ රට ගොඩ ගන්න බැහැ ලොකු උන්නැහේ” මැම්බර්හාමු දිගටම කියවාගෙන යයි.

    “අනේ මැම්බර්තුමෝ මගේ මේ ලියුම හදවගන්න ඕනෙ” අමරබන්දු බැරිම තැන කීවේය.

    මේ ලොකූන්නැහේ මම මේ සබ්ජෙක්ටෙකට අලුත් අදයි පටන්ගත්තේ, ඔෆිස් එකේ අනිත් අය එනකල් ඉදගෙන ඉන්නකො… අපේ ලොක්ක අද කොයි වෙලේ හරි මේ පැත්තට විසිට් එකකට එන ආරංචියක් තියෙනවා…. උන්නාන්සෙ ඇහුවොත් මම උදෙන්ම ආව කියල කියන්න ඕනෙ හොදේ” කියාගෙන මැම්බර්හාමු අන්තරස්දහන් විය. අමරබන්දු අසරණව පුටුවේ හිද ගත්තේය.

    කාලය ගෙවී ගියේය, අමරබන්දු තවමත් හිද හුන් අසුනේය. තවත් මද වේලාවකට පසු බතික් ඇදුමින් සැරසුනු උත්තමයෙක් අමාත්‍යංශයට පැමිණ ඔහු අසලින් හිද ගතතේය. අලංකාර බතික් වැඩ දැමූ ඔහුගේ සරොම හා කමිසය ඔහුගේ වත දෙකොණට විහිදුණු ඔහුගේ කැකිරි සිනහව තවත් දීප්තිමත් කළේය.

    “මොකෝ මාමා මේ නිකම්ම නිකං සරොං බැනියං… අදිමුකො බතික්” ඔහු කීවේය.

    “මොන බතික්ද මහත්තයා.. අමරබන්දු සිය ඇගටම දියවීගිය බැනියමේ ඉරුණු වාටිය අතින් වසන අතර පැවසුවේය.

    “එහෙම කියන්න එපා මාමා.. මේ රට බතික් අදින්නෙ නැතුව ගොඩ නගන්න බැහැ, මේ දෙලොවට නැති ඇදුම් අදින්නෙ නැතුව අපි ජාතියක් විදිහට අදින්න ඕනෙ බතික්” ඔහු කීවේය. අපේ ලොක්ක උනත් කැමති එහෙමයි. ඔන්න බලන්න මාමා මම මේ රටේ මිනිස්සුන්ට බතික් අන්දවලාම තමයි පස්ස බලන්නේ” ඒ උත්තමයත් එසේ කියාගෙනම අමාත්‍යංශය ඇතුලට ගියේය.

    තවත් හෝරා කිහිපයක් බිත්ති ඔරලෝසුවෙන් හැලී ගියද අමරබන්දු තවමත් එතැනමය. 

    අමාත්‍යංශයේ ඉදිරිපස දැවැන්ත වීදුරු දොර දෙදරවාගෙන කඩිමුඩියේ ඇතුලට පැමිණ අමරබන්දු අසලින් වාඩිගත් උන්නාන්සේ දැක ඔහු විශ්මයට පත්විය. 

    “අනේ උන්නාන්සෙ ටිකකට අවසර, මම ඇතුලෙ නෝනා කෙනෙක්ට කියන්නං සුදු පිරුවටයක් සුජානං කොරන්න කියලා” අමරබන්දු හුන් අසුනෙන් නැගී සිටිනවිට ඔහුගේ සිත ශ්‍රද්ධාවෙන් පිරී ඉතිරී යන්නට ඔන්න මෙන්නය.

    “මොන පිරුවටද උපාසක මහත්තයා.. මමමේ දොකොණ පත්තු වෙලා ඉන්නවා” උන්නාන්සේ වැදෑරූහ.

    උන්නාන්සේ යමකින් මහත් කැළඹී සිටියේය. නිබදව නාද වන ඔහුගේ ජංගම දුරකථනය අමරබන්දුවද විඩාවට පත් කළේය.

    මේ කෙරුවාව බැහැ කොරන්න උන්නැහේ… කන්දක් විළීලා ගත්තු කවුන්සලේ මැම්බර් ආසනේ උස්සගෙන එකෙක් කැලේ පැන්නනේ.. ඉතිං කොහෙ කොරන්නද” උන්නාන්සේ සිය උපැස් යුවල අතරින් තියුණු බැල්මක් සිවුදෙස යොමු කළේය. උන්නාන්සේ දිගටම වදාරයි.

    “අපේ ටීම්ස් දාල තියෙන්නෙ ඔය අරං පන්නපු ආසනේ හොයන්න.. අනිත් උන්නාන්සෙට කළිං ආසනේ අපි හොයා ගෙන කවුන්සලේට ගිහින් අපේ ජාතියට සේවය කොරන්න ඕනෙ” උන්නාන්සේගේ වැදෑරීම අමරබන්දුව තවදුරටත් තිගැස්මටත්, වෙහෙසටත් පත් කළේය.

    “අනේ උන්නාන්සෙ..මෙහෙම ඇණ කොටාගන්න හියහම සාසනේට යන කල මොකක්ද? අමරබන්දු බැරිමතැන විමසුවේය.

    “මේ මොනවද උන්නැහේ කියන්නේ…. සාසනේ වගේද අපේ ආසනේ” උන්නාන්සේ එසේ වදාරමින් ක්ෂණයෙකින් හුන් තැනින් පිටවිය.

    ලෝකය සතර අතට පෙරළුනද අමරබන්දු කිහිලිගන්වා ගත් ෆයිල් කවරයද සමග හුන් තැනමය.

    බලා සිට බැරිම තැන විටක් කා පෙට්ටි කඩයෙන් කහට තේ කෝප්පයක් පානය කිරීමට සිතා ඔහු අමාත්‍යංශයෙන් එළියට පැමිණියේය. ඔහු කහට කෝප්පය තොල ගාන අතරේ ඔහු අසලට පැමිණි මිනිසා අමුතුය. ඔහු මැටි නෑඹිලියක් හිසේ නවාගෙන, මටි කෝප්ප මාලයක් බෙල්ලේ හොවාගෙන, කොටින්ම ඔහුගේ ඇග පුරාම මැටිය.

    “අනේ අනේ මාම මෙච්චර කියලත් ඔයා තවමත් වීදුරු කෝප්පේ නෙ කහට බොන්නේ.. ඔය වීදුරුව විසික්ක කරල දාගන්න ඔය කහට එක මේ මැටි කෝප්පෙට” ඔහු බලහත්කාරයෙන් ම අමරබන්දු අත මැටි කෝප්පයක් තැබුවේය.

    “ඔහොම බැහැ මාම රට, දැය, සමය දියුණු කරන්න, අපි කන්න බොන්න ඕනෙ මැටි භාජන වල, ඉතිරි කරන්න ඕනෙ මැටි කැට වල” ඔහු සිය බෙල්ලේ වූ මැටි කෝප්ප මාලය ශබ්ද කරමින්ම එතැනින් පිට විය. 

    නවුම් මැටි කෝප්පයේ සීනි නැති කහට එක තොලගෑ අමරබන්දුහට රට දියුණුවන බව හැගුණි.  

    දවස පුරා සිය කාර්යය නොකෙරුණු තැන අමරබන්දුහට වෙහෙසය. සිත කළකිරුණි. ෆයිල්කවරය කිහිලි ගන්වාගෙනම ඔහු මහමග පොදු බංකුවක්මත හිදගත්තේ එහි තවත් අයෙක් හිද සිටිනු දුටුවද එය මායිම් නොකරය.

    බෙන් හෝගන් වර්ගයේ තොප්පියක් ද තද නිල් පැහැති ලෝගුවක් ද පැළද හුන් ඔහු හිදිවනම නිසොල්මනේ බලාගත් වනම සිට අමරබන්දු ඇමතුවේය.

    “මේ උන්නැහේගෙ වැඩේ කෙරුනෙත් නැහැ නේද…. මගෙත් එහෙමයි.. ඒත් සැලෙන්න එපා උන්නැහේ

    “වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජයගත් පසු එහි අග්‍රඵලය ලබන්න නිහඩව ටික කලක් බලා සිටිය යුතුය” ඔහු කීවේය.

    “ඔය උන්නැහේ අමරබන්දු නේද..” මම “රූපසිංහ-හිටං” අමරබන්දුගේ විශ්මිත වත දුටු ඔහු තමන්ව ස්වේච්ඡාවෙන්ම හදුන්වා දුන්නේය.

    එය ඇසූ අමරබන්දුගේ යටිබඩත් කොරවී ගියේය. නමුත් තමන් පැමිණි කාර්යය නොකෙරුනද රට දියුණුවෙන්නට පටන්ගෙනඇති බව අමරබන්දු හට හැගුනි. අඩුමගානේ රටවත් දියුණුවෙයිනෙ අමරබන්දු සුසුමක් හෙළා සුවපත්විය.

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    ඔබේ අදහස් දක්වන්න.