fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මනුෂ්‍ය ඝාතනවලට අනුබල දීම් කුරාණයේත් - ජනපති නීතීඥ ශමිල් පෙරේරා කොමිසමට...

    මනුෂ්‍ය ඝාතනවලට අනුබල දීම් කුරාණයේත් – ජනපති නීතීඥ ශමිල් පෙරේරා කොමිසමට කියයි

    මනුෂ්‍ය ඝාතනය සිදු නොකළ යුතු බවට කුරාණයේ සඳහන් බව ඉස්ලාම් මවුලවිවරයෙක් ජනාධිපති කොමිසමට සඳහන් කළද කුරානයේ ඇතැම් ස්ථානවල මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමක් සිදුව ඇතැයි කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ජනාධිපති කොමිසමට පෙන්වා දෙයි.

    කුරාණයේම ඇතැම් ස්ථාන උපුටා දක්වමින් ජනාධිපති නීතිඥවරයා මේ බව පෙන්වා දුන්නේ ජනාධිපති කොමිසම හමුවේ දෙහිවල ප්‍රදේශයේ මව්ලවිවරයෙක් සාක්ෂි ලබාදුන් අවස්ථාවෙදී ය.

    පාස්කු ඉරුදින දෙහිවල ට්‍රොපිකල් ඉන් අවන්හලේදි බෝම්බයක් පුපුරුවා හැරි ජමිල් මොහොමඩ් ප්‍රහාරයට පෙර රැඳී සිටි සිටි දෙහිවල ජුම්මා මස්ජිතයේ දෙවැනි මව්ලවිවරයා වන මන්සුර් මොහොමඩ් රෆ්ලාන් මව්ලවිවරයා සාක්ෂි විමසීම සදහා අද ජනාධිපති කොමිසම හමුවට කැදවා තිබුණි.

    එහිදි සාක්ෂි ලබාදෙමින් මව්ලවිවරයා සදහන් කළේ කුරාණයේ ඉගැන්වීම් තුළ මනුෂ්‍ය ඝාතනයට අනුබලදීමක් සිදුව නැති බැවින් මෙවැනි අන්තවාදි කටයුතු ඉස්ලාම් ධර්මය අනුමත නොකරන බවයි.

    එසේම එක් අයෙක් ඝාතනය කිරීම සියළුදෙනා ඝාතනය කළාක් මෙන් සලකන බව කුරාණයේ ඉගැන්වීම යැයිද මව්ලවිවරයා ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

    කෙසේ වෙතත් මෙහිදි සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසමින් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කුරාණයේ ඇතැම් ස්ථාන වල මනුෂ්‍ය ඝාතනයට අනුබලදීමක් සිදුව ඇති බව ජනාධිපති කොමිසමය පෙන්වා දුනි.

    ඒ අනුව කුරාණයේ එක් ස්ථානයක ජුදෙව්වන් සහ ක්‍රිස්තියානින් අපායේ සිටිය යුතු අය ලෙසත් ඔවුන් මනුෂ්‍ය කුලයේ දුෂ්ඨතම අය ලෙසත් හදුන්වා ඇති බව ජනාධිපති නීතිඥවරයා පැහැදිලි කළේය.

    එහිදි සාක්ෂිකරු සදහන් කලේ ජුදෙව්වන් සහ ක්‍රිස්තියානින් යනු මුල්කාලයේ අල්ලාහ් දෙවියන් අදහමින් සිට පසුව වෙන්වු කොටස් දෙකක් බවයි.

    ඒ අනුව ක්‍රිස්තියානින් විසින් ඊෂා නබිව සහ ජුදෙව්වන් විසින් මුෂා නබිව වන්දනා කරන බව සාක්ෂිකරු වැඩිදුරටත් පැහැදිලි කළේය.

    මෙහිදි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේ කුරාණයේ සුරා 33/61 හි සදහන් වන්නේ කුමක්ද? යන්නය.

    සාක්ෂිකරු සදහන් කාලේ ඔවුන් දුටු තැන මරන්න, ඔවුන්ව අල්ලලා මරන්න යනුවෙන් සදහන්ව ඇති බවය.

    එහිදි ජනාධිපති නීතිඥවරයා නැවතත් ප්‍රශ්න කළේ එය අදාළ වන්නේ ඉස්ලාම් ධර්මය අදහමින් සිට පසුව අල්ලාහ් දෙවියන් කෙරෙහි විශ්වාසය අතහැරි අයටද යනුවෙනි.

    එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සදහන් කළේ කල නොකළ යුතු දේ කුරාණය තුළම සදහන්ව ඇති බවයි.

    කෙසේ වෙතත් කුරාණයේ ඇතැම් වචන අතීතයට පමණක් අදාළ වන බැවින් එම වචන උපුටා දක්වමින් කුරාණය මනුෂ්‍ය ඝාතනයට අනුබලදීමක් සිදුකර ඇතැයි පැවසීම පිළිගත නොහැකි බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.