fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටවල් 6කින් මුදල් ඇමතිට දුන් පොරොන්දු

    රටවල් 6කින් මුදල් ඇමතිට දුන් පොරොන්දු

    රටවල් 06 ක තානාපතිවරු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා හමුවී ඒ ඒ රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවක නිරත වී තිබේ.

    පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ දී පැවැති එම සාකච්ඡාවට ජපානය, නෙදර්ලන්තය, මැලේසියාව, ඇෆගනිස්ථානය, ඉන්දුනීසියාව හා කටාර් රාජ්‍යයන් නියෝජනය කරමින් තානාපතිවරු සහභාගි වී ඇත.

    ඔවුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී කරන ලද සාකච්ඡාවලදී පහත කරුණු ඉදිරිපත් කර තිබුණි.

    ජපානය – “අංශ 5ක් යටතේ අඛණ්ඩව සහය දෙනවා”

    මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අංශ පහක් යටතේ අඛණ්ඩව සහය ලබාදීමට තම රජය කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akira Xugiyam මහතා පවසයි. ජපන් රජයේ ආයෝජන මත මේ වන විට ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකව පවතී. නව කැලණි පාලම් ව්‍යාපෘතිය සහ බණ්ඩාරනායක ගුවන්තොටුපළ දෙවන අදියර සංවර්ධන ව්‍යාපෘතිය ද ඒ යටතේ ක්‍රියාත්මක ය. ඉදිරියේ දී පුනර්ජනනීය බලශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහ කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ද ආධාර ලබා දීමට තම රට කැමැත්තෙන් පසුවන බව ජපන් තානාපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා හමුවේ පවසා සිටියේ ය. එසේ ම ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව මෙහි දී සඳහන් කළ ජපන් තානාපතිවරයා මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික සහය , මූල්‍ය සහ ආයෝජන සහය, ණය නොවන ප්‍රදාන ලබාදීම, ආපදා කළමනාකරණයට අවශ්‍ය සහය ලබාදීම සහ ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමේ ව්‍යාපෘති වෙනුවෙන් සහය ලබාදීම යන අංශ පහ යටතේ ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් කළේ ය.

    නෙදර්ලන්තය -“මෙරට කෘෂි ක්ෂේත්‍රයට සහය”

    බැසිල් රාජපක්ෂ මහතා හමු වූ නෙදර්ලන්ත තානාපතිනි Tanja Gonggrijp මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් තමා සතුටු වන බවයි. එසේ ම හරිත ආර්ථිකයක් ඇති කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව තම රජය සතුටු වන අතර මෙරට කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමේ හැකියාව ද සොයා බලන බව‍ නෙදර්ලන්ත තානාපතිනිය මෙහි දී සඳහන් කළා ය. මීට සමගාමීව බීජ පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ අංශය දියුණු කිරීමට සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා හමුවේ තනාපතිනිය කියා සිටියා ය.

    කටාර් – “රැකියා සහ නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියකට අවධානය”

    ශ්‍රී ලාංකීය පුහුණු ශ්‍රමිකයන් සඳහා ලබා දී ඇති රැකියා අවස්ථාවන් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන අතර ම දෙරට අතර පවතින දීර්ඝ කාලීන සම්බන්ධතාවය අඛණ්ඩ ව ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට කැප වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ කටාර් තානාපති Jassim Bin Jaber J.B.Al- Sorour මහතා සඳහන් කළේ ය. තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට තම රජය අදහස් කරන බව ද සඳහන් කළ කටාර් තානාපතිවරයා බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බව කියා සිටියේ ය.

    මැලේසියාව – “විදුලි සංදේශ සහ පිරිපහදු ඉන්ධන සැපයීමේදී සහන”

    මැලේසියානු තානාපති Tan Yang Thai මහතා මුදල් අමාත්‍යවරයා හමුවේ සඳහන් කළේ දැනටමත් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ව්‍යාපෘති සඳහා මැලේසියාව ආයෝජනය කටයුතු සිදුකරමින් ඇති බවත් ඉදිරියේ දී එම ආයෝජන තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ය. සංචාරක කර්මාන්තය නැවත සක්‍රීය කිරීමේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවත් පිරිපහදු ඉන්ධන ලබා දීමේ දී සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බලන බවත් මැලේසියානු තානාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ඉන්දුනීසියාව -“බලශක්ති සහ ඉන්ධන සහන”

    ඉන්දුනිසියානු තානාපති Gusti Ngurah Ardiyasa මහතා ද බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අතර ඔහු සඳහන් කළේ ඉන්දුනිසියානු ආයෝජිකයන් හට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් දෙරට අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන බවත් ය. බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් සහ පිරිපහදු ඉන්ධන සහනදායී ක්‍රමවේදයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දීමට ඇති හැකියාව සොයා බලන බව ද ඉන්දුනිසියානු තානාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ඇෆ්ගනිස්ථානය – “දුන් සහයට අගමැතිට තුති”

    වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම රට වෙත ලබා දුන් සහය පිළිබඳව සිය ජනතාව කෘතඥ වන බව බැසිල් රාජපක්ෂ මහතා හමු වූ ඇෆ්ගනිස්තාන තානාපති Ashraf Haidari මහතා සඳහන් කළේ ය. තම රටේ ශ්‍රම හමුදාව පුහුණු කර ගැනීමට සහ අධ්‍යාපන පහසුකම් පුළුල් කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බව සඳහන් කළ ඇෆ්ගනිස්තාන තානාපතිවරයා කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව වෙත අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදෙන බව ද සඳහන් කළේය. මෙම අවස්ථාවන්හි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර වශයෙන් කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සියලු රටවල් සමඟ සුහදතාවයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීමට කැපවන බවයි.

    මෙම අවස්ථාවන්ට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.