fbpx
තවත්
    මුල් පිටුවCOVIDආයෝජන කලාපවල කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව දී අවසන් - සේවක පැමිණීම 80%...

    ආයෝජන කලාපවල කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව දී අවසන් – සේවක පැමිණීම 80% පනී

     

    දිවයිනේ සියළුම ආයෝජන කලාපවල කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව එන්නත් කර අවසන්ව ඇති අතර ඒ හේතුවෙන් සේවක පිරිස් සේවයට පැමිණීම 80%ක් ඉක්මවා ඉහළ ගොස් ඇතැයි ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

    එහි සභාපති සංජය මොහොට්ටාල මහතා පවසා ඇත්තේ පසුගිය බදාදා (29) වන විට සමස්ත සේවක පැමිණිම සියයට 80කට වැඩි ඉහළ අගයක පැවතුණු අතර එය මෙම වසරේ වාර්තා වූ වැඩීම අගය බවය.

    සියළුම ආයෝජන කලාපවල සේවකයින් එන්නත්කරණය කිරීම, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආයතන පවත්වාගෙන යාම හා සේවක ආරක්ෂාව ප්‍රමුඛ ලෙස සැළකිම ආදී කරුණු සේවක පැමිණීම ඉහළ යෑමට හේතු වී ඇතැයි මොහොට්ටාල මහතා පැවසීය.

    මෙරට ආයෝජන කලාප 14 ක් ක්‍රියාත්මක වන අතර එහි කර්මාන්ත ශාලා 282ක් ක්‍රියාත්මය. ආයෝජන කලාප වලින් බැහැරව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය මත තවත් කර්මාන්ත ශාලා 1600 ක් පමණ පවත්වාගෙන යනු ලබයි.

    කොවිඩ් වසංගතය ආරම්භ විමත් සමග මෙම කම්හල්වල සේවක පැමිණිම සැලකිය යුතු ලෙස පහත වැටුණි. රජය එන්නත්කරණ වැඩ පිළිවල ක්‍රියාවට නැංවීමේදී මෙම සේවකයිනට ප්‍රමුඛත්වය ලබා දුනි.

    මේ වන විට පළමු මාත්‍රාව ලබා දුන් අනු පිළිවෙලට ක්‍රමවත්ව හා කඩිනමින් දෙවන මාත්‍රාව ලබා දීමද සිදු කරයි. කටුනායක,බියගම,පල්ලෙකැලේ හා කොග්ගල කලාප තුල දෙවන මාත්‍රාවද ලබා දී අවසන්ය.

    කලාපවලින් බැහැර කර්මාන්ත ශාලාවන් හි සේවක පිරිස් එන්නත්කරණයද මේ වන විට 85% කට වැඩි ප්‍රතිශතයක් ගනී. ආයෝජන කලාප හා බැදුනු අනෙකුත් සැපයීම් අංශද එන්නත්කරණය සිදු කරමින් පවතී. ශ්‍රී ලංකාව කාර්මික අපනයන ආදායමෙන් සියයට 85 ක් උපයා ගන්නේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලාහි නිෂ්පාදන අපනයෙනි.

    පවතින වසංගත තත්ත්වය යටතේ වුවද ආයෝජන කලාප සතු කර්මාන්ත ශාලා සියල්ලක්ම පාහේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එය ප්‍රතිශතයක් ලෙස එය 98%කි. සේවක පැමිණිම 29 වන දින ප්‍රතිශතයක් ලෙස සියයට 80 කට වැඩි ඉහල අගයකි.

    පවතින කොවිඩ් අවදානම යටතේ වුවද මෙරට නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සියළු අංශ දක්වන දායකත්වය අගය කරන බවද මොහොට්ටාල මහතා පවසයි.

    කොවිඩ් නව ප්‍රභේද ව්‍යාප්ත විමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි අයුරින් අනුගමනය කර සේවක ආරක්ෂාව ප්‍රමුඛ ලෙස සලකමින් කර්මාන්ත පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස සියළු පාර්ෂවයන්ගෙන් ඉල්ලා සිටින බව මොහොට්ටාල මහතා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.