තවත්

    කැවිලි පෙවිලි ගෙන අගමැති නිවසට අවුරුදු නෑගම් ආ පසුපෙළ මන්ත්‍රීලා

    0

    කැවිලි පෙවිලි රැගෙන තංගල්ල කාල්ටන් නිවසට අවුරුදු නෑගම් පැමිණි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (13) උදෑසන ඉතා සුහදව පිළිගන්නා ලදි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සැමට උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක්කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු මෙලෙස කාල්ටන් නිවසට පැමිණ සිටියහ.

    සිංහල සිරිතට මුල්තැන දෙමින් අලුත් අවුරුදු උදාව පවුලේ ඥාති හිත මිත්‍රාදීන් හා ගම් වැසියන් සමඟ සිය නිවසේ සිට සැමරීම අග්‍රාමාත්‍යතුමා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සිරිතකි.

    නෑගම් පැමිණි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟ සුහඳ කතා බහක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට මෙන්ම සමස්ත රට වැසියන්ටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළේය.

    රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, ලොහාන් රත්වත්තේ, ජානක වක්කුඹුර මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ආපනශාලා හිමියන්ගේ සංගම් ජාතික සංවිධායක අත්අඩංගුවට

    0

    සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඔහුගේ නිවසේදී අද අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ වොක්ෂෝල් විදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරීයට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාළවය.

    එම වරෙන්තුව විවෘත වරෙන්තුවක් ලෙස නිකුත් කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    අත්අඩංගුවට පත් අසේල සම්පත් මහතා කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    අධිවේගයේ පිස්සු නැටූ තරුණයන් අත්අඩංගුවට

    0

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර්‌ රථයක අනාරක්ෂිත අයුරින්‌ ගමන්‌ කර පොලීසිය මගහැර සිටි තරුණයින්‌ 04 දෙනා අද (13) අත්‌අඩංගුවට ගෙන
    තිබේ.

    මොවුන්‌ අකුරණ ප්‍රදේශයේ පදිංචි 18 සහ 20 යන වයස්‌ කාණ්ඩවල පසුවන පුද්ගලයින්‌ බවයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්‌ රෝහණ සඳහන්‌ කළේය.

    සැකකරුවන් පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    පසුගිය අප්‍රේල් 10 වන දින අධිවේගයේ ගමන් ගත් එම මෝටර් රථයේ රියදුරු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

    පානදුර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව අප්‍රේල් මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    අපරික්ෂාකාරී නොසැලකිළිමත් ධාවනය හා අන් අයට අන්ත්‍රාවක් සිදුවන ආකාරයෙන් රිය ධාවනය සම්බන්ධයෙන් එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.


    දැයට එළියෙන් ග්‍රාමීය නිවාස දස දහසක් ආලෝකමත් වේ

    0

    ”දැයට එළිය” ග්‍රාමීය ජනතාවට විදුලිය ලබා දීමේ වැඩ සටහන යටතේ මේ වන විට නිවාස 10,515 කට විදුලිබල පහසුකම් ලබා දී ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සදහන් කරයිි.

    අඩු ආදායම් ලාභී ග්‍රාමීය පවුල් ජීවත්වන නිවාස සදහා විදුලිය ලබා දීමේ රජයේ ජාතික වැඩ සටහනට අනුව දැයට එළිය ව්‍යාපෘතිය ක්‍රිියාවට නැගේ.

    සිය නිවෙස්වලට විදුලිය ලබා ගැනීමට අඩුආයම් ලාභී පවුල් 23,574 කින් මේ වන විට විදුලිබල මණ්ඩලයට අයදුම්පත් ලැබී තිබේ. දැනට ඒ අයගෙන් කොටසකට විදුලි බලය ලබාදී ඇති අතර ඉතිරි කොටසට ඉතා ඉක්මනින් විදුලිය ලබාදෙන බව විජිත හේරත් මහතා පවසයි.

    කරුංකා ජාවාරමකට සහකාර රේගු අධිකාරීවරයෙක් රහස් පොලිස් අත්අඩංගුවට

    0

    ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 300 ක් පමණ වටිනා කරුංකා කන්ටේනර් 23ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බවට ව්‍යාජ ලේඛන සකස්කර ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරීවරයෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සහකාර රේගු අධිකාරීවරයා වාද්දූවේ පදිංචි 29 හැවරදි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    මෙම කරුංකා තොගය ඉකුත් 2020 වසරේ අගෝස්තු , සැත්තැම්බර් සහ ඔක්තෝම්බර් යන මාස වලදී විටෙන් විට ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනයකර ඇති බව සදහන්ය. අනතුරුව එම කරුංකා මෙරට නිෂ්පාදිත ඒවවා බවට ශ්‍රී ලංකා රේගුවේ පරිගණක පද්ධතිය වෙනස්කර ඉන්දියාවට අපනයනය කර ඇතැයි විමර්ශන වලින් හෙළිවී තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ ඒකකය මෙම ඡාවාරම සම්බන්ධයෙන් මාස කිහිපයකට පෙර විමර්ශන ආාරම්භ කරමින් සැකකරුවන් තිදෙනෛක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අතර ව්‍යාපාරිකයෙක්ද සිටින බව සදහන්ය. සහකාර රේගු අධිකාරීවරයා සම්බන්දයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ එම සැකකකරුවවන්ගෙන් කෙරුණූ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදීය. අනතුරුව එම රේගු අඅධිිකාරීවරයා සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පවත්වා සාක්ෂි සහිතව ඔහුව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    මේ වන විට එම සහකාර රේගු අධිකාරීවරයාගේ වැඩ තහනම්කර ඇතැයි අජිත් රෝහන මහතා සදහන් කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    අනිද්දා සිට බස් දුම්රිය සේවාව සුපුරුදු පරිදි

    0

    ගම්බිම් බලා පිටත්ව ගිය පිරිස්‌ වෙත යළි පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම්‌ සලසමින් අනිද්දා (15) සිට බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.

    රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසන්නේ මේ වන විට බස්රථ 3000ක්‌ අමතරව
    එක්කර ඇති බවයි.

    ‌ කොළඹින්‌ ගම්බිම් බලා පිටව යන බස්රථ නැවත අප්‍රේල් 15 වන දින සිට කොළඹට ළඟාවීමට නියමිත බවත්‌ රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    මේ අතර, අමතර දුම්රිය 21ක්‌ සහ
    අමතර දුම්‍රිය ගමන්වාර 58ක්‌ ද අප්‍රේල්‌
    9 වන දින සිට ක්‍රියාත්මක බව දුම්‍රිය
    දෙපාර්තමේන්තුව සඳහන්‌ කළේය.

    අද උදාවන පුණ්‍ය කාලය

    0

    හෙට (14) දින උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්දේ නැකැත් සීට්‌ටුවට අනුව පුණ්‍ය කාලය අද (13) දින අපරභාග 08 පසුවී විනාඩි 09 සිට උදාවේ.

    එබැවින් අද දින අපරභාග 08.09 ට පළමුව ආහාරපාන ගෙන සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවැයි නැකැත් සීට්ටුවේ සඳහන්‌ වේ.

    හෙට දින එනම් 14 බදාදා පූර්වභාග 08 පසුවී විනාඩි 57 දක්වා පුණ්‍යකාලය පවතී.

    මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර ඉටු කළ යුතු නැකැත් වේලාවන් පහත දැක්වේ.

    අලූත් අවුරුදු උදාව:-

    අපේ‍්‍රල් මස 14 වන බදාදා පූර්වභාග 02.33 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.

    පුණ්‍ය කාලය:-

    අපේ‍්‍රල් මස 13 වන අඟහරුවාදා අපරභාග 08 පසුවී විනාඩි 09 සිට පසු දින එනම් 14 බදාදා පූර්වභාග 08 පසුවී විනාඩි 57 දක්වා පුණ්‍යකාලය බැවින් අපේ‍්‍රල් මස 13 වන අඟහරුවාදා අපරභාග 08.09 ට පළමුව ආහාරපාන ගෙන සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍යකාලයේ අපර කොටස තුළ එනම් අපේ‍්‍රල් මස 14 වන බදාදා පූර්වභාග 02 පසුවී විනාඩි 33 සිට එදිනම පූර්වභාග 08 පසුවී විනාඩි 57 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත‍්‍ර විධි ඉටු කිරීම මැනවි.

    ආහාර පිසීම:-

    අපේ‍්‍රල් මස 14 වැනි බදාදා පූර්ව භාග 06.17 ට

    ලා කොල පැහැති (පළාවන්) වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා එළකිරි මිශ‍්‍ර කිරිබතක් ද මුං ඇට මිශ‍්‍ර කැවිලිවර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

    වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය:-

    අපේ‍්‍රල් මස 14 වැනි බදාදා පූර්ව භාග 07.41 ට ලා කොළ පැහැති (පලාවන්) වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැෙඟනහිර දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

    රුපියල් 450ට පිරිසිදු පොල්තෙල් බෝතලයක්

    0

    ප්‍රමිතියෙන් යුතු දේශීය පොල්තෙල් බෝතලයක් රුපියල් 450ක පාලන මිලකට සතොස සහ සමූපකාර ව්‍යාපාරය හරහා ලබාදීම රජය පියවර ගෙන තිබේ.

    හිඟයක් නොමැතිව රු 450 මිලට පොල්තෙල් සැපයීමට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය සමග වෙළඳ අමාත්‍යාංශය ඉදිරියේ දී ගිවිසුමකට එළඹෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

    බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද (12) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

    “මේ අවුරුද්ද ඉවර වෙනකල් පිරිසිදු මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු දේශීයව නිෂ්පාදනය කරන පොල් තෙල් බෝතලයක් කවර වෙනස්කම් ඇති වුණත් රු 450කට සතොස සහ සමූපකාර ව්‍යාපාරය හරහා අලෙවි කරනවා. ඒ ගිවිසුමට අපිට එලඹෙන්න පුළුවන්. එතකොට මේ වර්ෂය නිමවෙන තෙක් පොල් තෙල්වල මිලේ ඉහළ යෑමක් සිදුවන්නේ නෑ. කිසිදු හිඟතාවයක් නොමැතිව රු 450 මිලට පොල් තෙල් සැපයීමට සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය සමග අපි ඉදිරියේ දී ගිවිසුමකට එනවා.“

    රාමසාන් උපවාස සමය බදාදා ඇරඹේ

    0

    මෙරට මුස්ලිම් ජනතාව එළඹෙන බදාදා (14) සිට රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

    අද (12) දිනයේ නව සඳ නොපෙනුන බවද එම නිවේදනයේ සඳහන් වේ.

    ඉස්ලාමීය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆිතර් දිනය, රාමසාන් දිනය ලෙස හඳුන්වනු ලැබේ.

    ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නවසඳ උදාවීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ඇරඹෙනු ඇති.

    වෛද්‍ය පරිපාලකයින් පත්කරන ගැසට් නිවේදනය අහෝසි කිරීමේ සූදානමක්!

    0

    අංජනා මල්ලවආරච්චි

    වෛද්‍ය පරිපාලකයින් පත් කළ යුතු ආකාරය සඳහන් ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අහෝසි කිරීමේ සූදානමක් පවතින බවට වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය චෝදනා කරයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම මත මෙම ගැසට් නිවේදනය අහෝසි කිරීමට නියමිත බව වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය කියයි.

    එම ගැසට් නිවේදනය අහෝසි කළහොත් නුසුදුස්සන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත්වීමේ අවධානමක් පවතින බවද එම සංසදය සදහන් කරයි.

    සුරාබදු දෙපාර්තමේන්තුවට කොවිඩ් රිංගයි – 1913 සති දෙකක් වැසේ

    0

    අංජනා මල්ලවආරච්චි

    ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ රාජගිරිය මූලස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා සති දෙකක පමණ කාලයක් 1913 මෙහෙයුම් මැදිරිය තාවකාලිකව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

    සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ, දුම්කොළ අපරාධ දැනුම් දීම සඳහා ජනතාවට දුරකථන අංක 0716345291/ 0713108507 විවෘතව තැබෙන බව ද කුමාරසිංහ මහතා කීය.

    වාහන ගේම් දෙන මොහු ගැන තොරතුරක් දුන්නොත් ලක්ෂ 10ක්

    0

    දිවයිනේ විවිධ ප්‍රදේශවල වංචාවන්‌ සිදුකර සැගව සිටින පුද්ගලයෙකු අත්‌අඩංගුවට ගැනීම සඳහා
    අපරාධ හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින්‌ චිමර්ශන ආරම්භ කර ඇත.

    සැකකරු වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු, ගුරුවරයෙකු හා ව්‍යාපාරිකයකු වශයෙන්‌ පෙනී සිටීමින්‌
    නොයෙක්‌ ආකාරයේ වංචාවන්‌ සිදු කර ඇති අතර ඒ සම්බන්ධව පොලිස්‌ ස්ථාන මගින්‌ විමර්ශන ආරම්භ කර තිබේ.

    සැකකරු අත්‌අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරු ලබාදෙනු ලබන පුද්ගලයන්ට රුපියල්‌ ලක්ෂ 10ක ත්‍යාග මුදලක්‌ ලබාදීමට පොලිස්පතිවරයා විසින්‌ අනුමැතිය ලබාදී ඇත.

    එමෙන්ම මෙම සැකකරු විසින්‌ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කර ඇති වංචා අතර, වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින්‌ කොල්ලකන ලද වාහනයක්‌ රුපියල්‌ ලක්ෂ 165 කට විකිණීම, ව්‍යාජ අත්සන්‌
    යොදා රුපියල්‌ 1,550,000/- ක්‌ වටිනා වාහනයක්‌ පවරා ගැනීම, ෆිනෑන්ස් සමඟ විකුණූ වාහනයක්‌ සම්බන්ධයෙන්‌ විශ්වාසය කඩ කිරීම, රුපියල්‌ ලක්ෂ 28 ක්‌ වටිනා මෝටර්‌ රථයක්‌ ලබා ගෙන චංචා
    කිරීම, රුපියල්‌ ලක්ෂ 30 ක්‌ වටිනා වෑන්‌ රථයක්‌ සොරකම්‌ කිරීම්‌ මොහු විසින්‌ සිදු කර ඇති වාංචාවන්‌ කිහිපයකි.

    මෙම සැකකරු විසින්‌ ඉදිරියේදී මෙවැනි ආකාරයට චංචනික ක්‍රියා තවදුරටත්‌ සිදු කිරීමට හැකියාව ඇති බැවින්‌ මෙවැනි චංචනික ක්‍රියා සිදු කරන පුද්ගලයින්ට හසුනොවී විමසිලිමත්ව කටයුතු කරන
    ලෙසට පොලිසිය ජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

    මෙම සැකකරු අත්ඩංගුවට ගැනීමට මහජන සභාය ලබා ගැනීමටද අවශ්‍යව ඇත.

    සැකකරුගේ විස්තර
    නම – රාෆික්‌ මොහොමඩ්‌ ෆාරුක්‌
    ජාතික හැදුනුම්පත්‌ අංකය :- 761350446
    ලිපිනය – අංක 122/15/බී, සුහද මාවත, මාන්කඩ පාර, කඩව
    අංක 133/05, නාමල්‌ ටෙරස්‌, වට්ටියගොඩ
    අංක 89/03, රජමාවත, කණුවන, ජාඇල

    සැකකරු සම්බන්ධයෙන්යම්‌ තොරතුරක්‌ වෙතොත්‌ පහත සඳහන්‌ දුරකථන අංකය වෙත දැනුම්‌ දෙන ලෙස පොලීසිය
    ජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

    නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා
    සංවිධානාත්මක අපරාධ දිසාව 071-8592604

    නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා
    සංවිධානාත්මක අපරාධ දිසාව කාර්යාලය 0011- 2685958

    අදාල සැකකරුගේ ඡායාරූපයක්‌ ඉහත දැක්වේ.


    ඔන්ලයින් සාප්පු ඇතුළේ හොර බඩු ජාවාරමක්

    0

    අන්තර්ජාලය හරහා‌ භාණ්ඩ මිලදී ගැනීමේදී වංචනික සිද්ධීන් ගණනාවක් පිළිබඳ පැමිණිලි ලැබීම හේතුවෙන් ඉතා සුපරික්ෂාකාරී වන ලෙස පොලිසිය ජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

    විශේෂයෙන්‌ අන්තර්ජාලයේ පළකරනු ලබන දැන්වීම්‌ ඔස්සේ තනි ‌ පුද්ගලයන්ගෙන්‌ භාණ්ඩ මිලදී ගැනීමේදී වඩා සුපරික්ෂාකාරී විය යුතු බව ද පොලීසිය නිවේදනය කර සිටී.

    සොරකම්‌ කරන ලද හෝ කොල්ලකන ලද වටිනා ජංගම දුරකථන, ස්වර්ණාභරණ, සුවඳ විලවුන්‌, විදුලි උපකරණ, පරිගණක
    වැනි භාණ්ඩ සොරකම්‌ කරන පුද්ගලයන්‌ ඉතා අඩු මිලට අන්තර්ජාලයේ මුහුණු පොත සහ සමාජ මාධ්‍ය ජාලා තුල දැන්වීම්‌ කර විකුණනු ලබයි.

    එම භාණ්ඩ ලබාදෙනු ලබන්නේ මහා මාර්ගය වැනි පොදු ස්ථානවල වීම විශේෂ කරුණකි.

    මෙවැනි ආයතනවල භාණ්ඩ විකුණන පුද්ගලයන්‌ භාණ්ඩ හුවමාරු කිරීමේ ස්ථාන ලෙස මහජනයා වැඩිපුර නොගැවසෙන, සමීප රූප ආවේක්ෂණ කැමරා නොමැති ස්ථානයක්‌ තෝරාගනු ලබයි.

    සොරා ගනු ලබන භාණ්ඩ විකුණා සැණකින්‌ අතුරුදහන්වීමට මෙම කූඨ පුද්ගලයන්‌ වගබලා ගනී.

    එබැවින්‌ අන්තර්ජාලයේ මුහුණු පොත සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ භාණ්ඩ විකුණන පුද්ගලයන්ගෙන්‌ භාණ්ඩ මිලදී ගැනීමේදී එම භාණ්ඩ සොරා ගත්‌ භාණ්ඩ හෝ ව්‍යාජ භාණ්ඩ වීමේ ප්‍රවණතාවයක්‌ ඇති හෙයින්‌, ඉතා පරිස්සම්‌ විය යුතු අතර, භාණ්ඩ විකුණනු ලබන පුද්ගලයාගේ අනනාාතාවය ( ජංගම දුරකථන අංකය/ හැඳුනුම්පතේ පිටපතක්‌) වැනි තොරතුරු නිවැරදිව ලබාගෙන මෙවැනි ගණුදෙනු කිරීමට ප්‍රවේශම්‌ වන ලෙස පොලිසිය විසින්‌ මහජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

    තවද, මේ වන විට සොරකම්‌ කරන ලද හෝ කොල්ලකන ලද සියළුම ජංගම දුරකථනයන්හි EMI අංක ශ්‍රි ලංකා පොලිසිය විසින්‌ පවත්වාගෙන යනු ලබන www.ineed.police.lk වෙබ්‌ අඩවියේ ප්‍රසිද්ධ කර ඇත.

    ඕනෑම පුද්ගලයකුට පාචිච්චි කරන ලද හෝ අලුතින්‌ මිලදී ගනු ලබන ජංගම දුරකථන මිලදී ගැනීමට ප්‍රථම ඉහත වෙබ්‌ අඩවියට පිවිස තමා මිලදී ගැනීමට බලාපොරොත්තු වන ජංගම
    දුරකථනයේ EMI අංකයන්‌ මෙම වෙබ්‌ අඩවිය ඵලකර ඇත්ද යන්න සොයා බලා තහවුරු කර, එම මිලදී ගැනීම සිදුකරන ලෙස ශ්‍රි ලංකා පොලිසිය ජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

    චීන ණය මුදල සහන පොලියට – මුදල් අමාත්‍යාංශ ලේකම්

    0

    අංජනා මල්ලවආරච්චි

    චීනයෙන් ලද ඩොලර් මිලියන 500 ක ණය මුදල සහන පොලියක් මත වසර 10 කදී ගෙවා නිම කිරීමට අදාළ කොන්දේසි යටතේ ලබාගත් බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැවසීය.

    එම ණයවලින් ලැබෙන මුදල ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නා බව ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කීය.

    චීන සංවර්ධන බැංකුව විසින් ඉකුත් 2018 වසරේදී සහ 2020 වර්ෂයේදී මෙවැනි සංවර්ධන ණය මුදල් ලබාදී තිබෙන බවද ඔහු පැවසීය.

    තානාපති කාර්‍යාලවලින් යැයි හඟවා මිලියන ගණන් භාණ්ඩ ඇනවුම් කළ ජාවාරමක්

    0

    මෙරය විදේශීය තානාපති කාර්යාල මගින්‌ දුරකථන ඇමතුම්‌ ලබා දෙන ලෙසට හඟවමින්‌ කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන වෙළඳ ආයතන වෙත ඇමතුම්‌ ලබා දී තානාපති කාර්යාලය සඳහා වටිනා භාණ්ඩ ඇණවුම්‌ කිරීම සිදුකරනු ලබන සංවිධානාත්මක පිරිසකගේ ජාවාරමක්‌ පිළිබඳ පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.

    අදාල වෙළඳ ආයතන විසින්‌ ඔවුන්‌ වෙත ලැබුණු දුරකථන ඇමතුම්‌ ආපසු පරීක්ෂා කිරීම සඳහා එම දුරකථන අංකයට නැවත ඇමතූ විට, විදේශීය තානාපති කාර්යාලයක්‌ වෙත ලැබෙන ඇමතුම්වලට පිළිතුරු සැපයීම සඳහා සාමාන්‍යයෙන්‌ සිදුකරන පටිගත ගත කිරීම ව්‍යාජ ලෙස
    සකසා තිබී ඇත.

    එමෙන්ම අදාල ඇමතුම දෙනු ලබන පුද්ගලයා හට එම ඇමතුම ලබාදෙන ස්ථානය, විදේශීය තානාපති කාර්යාලයම බව හැඟවෙන ලෙසට තාක්ෂණික ක්‍රමවේදයක්‌ මෙම වංචනික පුද්ගලයින්‌ විසින්‌ සකස්‌ කර ඇත.

    පසුගිය දින කිහිපය ඇතුලත කොළඹ නගරයේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි කරන සමාගම්‌ දෙකක්‌ වෙත විදේශීය තානාපති කාර්යාලයක්‌ වෙතින්‌ ඇණවුම්‌ කරන ලෙස හඟවා පිළිවෙලින්‌ රුපියල්‌ මිලියන 4.7 සහ රුපියල්‌ මිලියන 2.9 වටිනා දුරකථන මෙම චංචනික කල්ලිය විසින්‌ ලබා ගෙන ඇත.

    ඒ සඳහා ලබා දෙන ලද චෙක්පත්ද ව්‍යාජ ලෙස සකස්‌ කරන ලද ඒවා බවට සිදුකරන ලද විමර්ශනයේදී හෙලිදරව් වී‌ ඇත.

    එබැවින්‌, මෙවැනි වංචනික පුද්ගලයන්ගේ කූඨ උපක්‍රමයන්ට හසු නොවන ලෙස සියළුම වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන්‌ ශ්‍රි ලංකා පොලිසිය ඉල්ලා සිටී.

    එමෙන්ම එවැනි ඇණවුම්‌ කිරීමක්‌ සිදුකලහොත්‌, ඒ සම්බන්ධයෙන්‌ වඩාත්‌ පරීක්ෂාකාරී ලෙස සොයා බලා එම ගණුදෙණු හරියාකාරව සිදුකරන ලෙසට ශ්‍රි ලංකා පොලිසිය සියළුම ව්‍යාපාරික ප්‍රජාවගෙන්‌ ඉල්ලා සිටී.

    මෙවැනි කූඨ උපක්‍රමවලට ඔබ හසුවී ඇත්නම්‌ ඒ සම්බන්ධයෙන්‌ ළහම පිහිටි පොලිස්‌ ස්ථානයට හෝ දැනට මෙම විමර්ශන කටයුතු සිදුකරනු ලබන අංක 182, ඇල්විටිගල මාවත, කොළඹ 08 යන ලිපිනයේ පිහිටි කොළඹ වංචා විමර්ශන කාර්යංශය වෙත පැමිණ දැනුම්‌ දෙන
    ලෙසට පොලිසිය ජනතාවගෙන්‌ වැඩිදුරටත්‌ ඉල්ලා සිටී.

    චීනයෙන් ඩොලර් මිලියන 500ක් මේ සතියේ ශ්‍රී ලංකාවට

    0

    චීන සංවර්ධන බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම අද (12) අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    කොළඹ පිහිටි චීන තනාපති කර්යාලයේ දී අදාළ ගිවිසුම අත්සන් තබා ඇත.

    එම මුදල් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

    අධිවේගයේ නොහික්මුණු ලෙස මෝටර් රථයක් පැදවූ රියදුරා පොලිස් බාරයට

    0

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක ජනේල් විවරකරගෙන සිය සිරුරු වාහනයෙන් පිටතට දමාගෙන ගමන් කළ පුද්ගලයින් සියළු දෙනාම හදුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    එම පුද්ගලයින්ට අද(12) දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පොලිස් මුරපොල වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබුණත් ඒ අය පැමිණ නැත. ඒ වෙනුවට මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරුත් එහි වත්මන් හිමිකරුගේ පුතෙක් සහ අදාල සිදුවීම වන විට එම මෝටර් රථය පදවන ලද රියදුරාත් පැමිණ ඇතැයි අජිත් රෝහන මහතා පැවසීය. වත්මන් හිමිකරු මෝටර් රථය මුල් ලියාපදිංචි හිමිකරුගෙන් මිලදී ගෙන ඇතත් වත්මන් හිමිකරුගේ සිය තොරතුරු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ලබාදී නැතැයි ද අජිත් රෝහන මහතා සදහන් කළේය.

    වත්මන් හිමිකරු ශල්‍ය කර්මයකට ලක්කර සිටින බව ඔහුගේ පුතා සදහන් කර ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරීව පදවන ලද මෝටර් රථයද ගැලනිගම පොලිස් මුරපොල වෙත රැගෙන විත් ඔහු ඉදිරිපත්කර තිබේ.

    ඉකුත් සෙනසුරාදා මහනුවර සිට කඩවතට පැමිණ කඩවතින් අධිවේගීමාර්ගයට පිවිස ගාල්ල බලා ගොස් නැවත අධිවේගී මාර්ගයේම කඩවතට පැමිණ මහනුවරට ගිය බව මෝටර් රථයේ රියදුරා පවසා ඇත.

    අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් රථවාහන පනතින් ද අනාරක්ෂිතව වාහනයෙන් පිටතතට සිරුර දමාගෙන යමින් සෙසු වාහන අනතුරකට පත්කිරීමේ අවධානමකට ලක්කිරීම සම්බන්ධයෙන් අපරාධමය නීතිය යටතේත් නීතිමය පියවර ගන්නා බව අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය. ඒ අනුව මෝටර් රථයේ රියදුරුට එරෙහිව මුලිින්ම නීතිය ක්‍රියාත්මක කර තිබේ.

    කැලණියේ නිවසකිනුත් කෝටි 100ක අයිස් අල්ලයි

    0

    ජා-ඇලින් සොයාගත් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් කෙරුණු වැඩිදුර විමර්ශනයේදී කෝටි 100 කට අධික වටිනාකමක් ඇති තවත් අයිස් කිලෝ 100 කට වැඩි ප්‍රමාණයක් කැලණියේ නිවසක සගවා තිබියදී මෙයට සුළු මොහෛාතකට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සොයා ගත්තේය.

    මෙම මත්කුඩු තොගය ද යුද සමයේ මෙරටින් පළාගොස් ප්‍රංශයේ රැදී සිටින රූබන් නැමැති එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබලයාට අයත් බව හෙළිවී තිබේ. මෙම මත්කුඩු ජාවාරමේ මහ මොළකරු කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කුඩු ලාල් බවද විමර්ශන වලින් හෙළිවී ඇත. කුඩු ලාල් මේ වන විට සිටින්නේ එංගලන්තයේය.

     

    සබැඳි පුවත්

    ජා-ඇල මත්කුඩු ජාවාරමේ හිටපු මහ කොටියෙක්

    0

    ජා-ඇලින් සොයාගත් මත්කුඩු ජාවාරම පිටුපස සිටින්නේ අවසන් යුද සමයේ මෙරටින් පළාගොස් ප්‍රංශයේ රැදී සිටින රූබන් නැමැති එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබලයෙක් සහ ඩුබායිහී සිටින ජූඩ් ප්‍රියන්ත යන මත්කුඩු ජාවාරම්කරු බවට සැකකරන තොරතුරු රැසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබී තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයත් නාවික හමුදාවත් ඉකුත් ජනවාරි 04 වෙනිදා කළ ඒකාබන්ධ මත්කුඩු වැටලීමේදී මහා මුහුදේදී බෝට්ටුවක් සමග අල්ලාගත් අයිස් නැමැති මත්කුඩු කිලෝ 126 සහ හෂිස් කිලෝ 88 ටද රූබන්ගේ නම කියැවිණි.

    ඉකුත් වසරේ දෙසැම්බර් 06 වෙනිදා සුරාබදු නිලධාරීන් විසින් ඉරණවිලදී අල්ලාගන්නා මත්කුඩු කිලෝ 200 යේ හිමිකරවා වූයේ ජූඩ් ප්‍රියන්තය. ඒ පිටුපසද රූබන් සිටින බව පොලිස් තොරතුරුවල සදහන්ය. එසේම පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් නොවැම්බර් 21 වෙනිදා වැලිගමින් අල්ලාගන්නා හෙරොයින් කිලෝ 111 පිටුපසද සිටියේ රූබන්ය.

    මේ වන විට එංගලන්තයේ රැදී සිටින කුඩු ලාල් යැයි කුප්‍රකට පුද්ගලයාගේ ප්‍රධාන ගෝලයා වන්නේ රූබන් බව පොලිස් තොරතුරුවල සදහන්ය. රූබන් සිදුකරන්නේ මත්කුඩු ජාවාරම පමණක් නොව, ඉන්දියාව සහ මෙරට අතර සිදුවන කේරල ගංජා ජාවාරමටද සම්බන්ධ බව හෙළිවී තිබේ. මෙම ඡාවාරම්කරුව ප්‍රංශ රූබන් යැයි කියාද හදුන්වනු ලබයි.

    සබැඳි පුවත

    රජයේ ලේබලයෙන් යාපනයේ හොර මත්පැන් ජාවාරමක්

    0

    නීති විරෝධි ලෙස නිෂ්පාදනය කරනු ලබන මත්පැන් බෝතල්කර රජයේ අනුමත මත්පැන් වර්ගයක ලේබලයකින් බෙදා හැරීමේ ජාවාරමක් යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් හෙළිකරගෙන තිබේ.

    ඒ අනුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ (11) යාපනය රෝහල පාරේ ලැගුම්හලක පවත්වාගෙන ගිය එම නීති විරෝධි මත්පැන් ස්කාගාරය වටලනු ලැබීය.

    එහිදී රජයේ අනුමත මත්පැන් වර්ගයක ලේබලය ගසා බෙදා හැරීමට සූදානම්කර තිබුණු මිලි ලීටර් 750 ප්‍රමාණයේ මත්පැන් බෝතල් 42 ක් මිලි ලීටර් 180 ප්‍රමාණයේ මත්පැන් බෝතල් 26 ක් සොයාගෙන තිබේ. ඊට අමතරව බෝතල්වලට පිරවීමට සූදානම්කර තිබුණු මත්පැන් ලීටර් 3000 ක්ද සොයාගෙන ඇත. මත්පැන් බෝතල්වලට ඇලවීමට සූදානම්කර තිබුණු ලේබල් මෙන්ම මත්පැන් බෝතල් වලට මූඩිය මුද්‍රාව සහිතව යෙදීමට යොදා ගන්නා උපකරණයක්ද පොලීසිය සොයාගෙන තිබේ.

    මෙම හොර ස්කාගාරය පවතවාගෙන යාම සම්බන්ධයෙන් සැකපිට යාපනය මල්කම් හී පදිංචිකාර 48 වියැති පුද්ගලයෙක් අත්අඩඩංගුවට ගෙන ඇත.

    අලුත් අවුරුද්ද ඉලක්කර ගනිමින් මෙම මත්පැන් බෝතල් කිරීම්වල නිරතව සිට ඇතැයි පොලීසිය සැකකරයි.

    හෙට අනිද්දා දුම්රිය වාර 30ක් නෑ

    0
    SONY DSC

    එළඹෙන අලුත් අවුරුද්ද හේතුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දින දෙකේ පමණක් කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා සුපුරුදු පරිදි ක්‍රියාත්මක ය.

    මේ අතර අලුත් අවුරුදු සමය තුළ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවය කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වන බව ප්‍රවහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

    ජා-ඇල නිවසකින් කෝටි 13ක අයිස් – තවත් කිලෝ 50ක් සොයා මෙහෙයුම්

    0

    ජා-ඇල නිවන්දම ප්‍රදේශයේ කළ වැටලීමකින් අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 13 ක් සමග එකම පවුලේ සිව් දෙනෙක් ඇතුළු හය දෙකේ සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකකරුවන් අතර කාන්තාවක්ද සිටී.

    මත්ද්‍රව්‍ය තොගය තිබී ඇත්තේ නිවසේ කාමරයකය. වැටලීමට පැය කිහිපයකට පෙර එම කාමරයේම ගබඩාකර තිබුණු තවත් මත්ද්‍රව්‍ය කිලෝ 50 ක පමණ ප්‍රමාණයක් වෙනත් ස්තානයකට රැගෙන ගොස් ඇති බවටද තොරතුරු ලැබී ඇත. එම මත්ද්‍රව්‍ය තොගය සොයාද මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකය.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අයිස් ග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් සහ විමර්ශනයකින් අනතුරව මෙම අයිස් තොගය සොයාගෙන ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    අමෙරිකානු ජනපතිගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ස්ථාවරය ශ්‍රී ලංකා රජයට දන්වයි

    0
    Joe biden

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති කැපවීම පිළිබඳව එරට රජය විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.

    පසුගිය සිකුරාදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සමඟ විදේශ අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

    ජෝ බයිඩන් ජනවාරි මාසයේ දී එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස වැඩ බාරගත්තේ ය.

    ඔහුගේ පරිපාලනය මානව හිමිකම් පිළිබඳ ප්‍රතිපත්තිය ඇතුළු එහි නව ප්‍රතිපත්ති ගණනාවක් අලුතින් ක්‍රියාත්මක කර තිබේ.

    “තානාපති සහ විදේශ අමාත්‍යවරයා වත්මන් ගෝලීය වසංගතය සහ එක්සත් ජනපදය කොවැක්ස් කොවිඩ් එන්නට් පහසුකම සඳහා ලබා දුන් දායකත්වය, වෙළඳාම සහ ජනාධිපති බයිඩන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ කැපවීම වැනි කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළා” යැයි එක්සත් ජනපද තානාපති ප්‍රකාශක නැන්සි වැන්හෝර්න් පවසයි.

    ඉන්දියාවේ කොවිඩ් එන්නත් කුප්පියේ ආයු කාලය දිගු කරන්න WHO බෑ කියයි

    0
    vaccine

    ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිෂීල්ඩ් එන්නත් බහාලන කුප්පියේ ආයු කාලය මාස 6 සිට 9 දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා සේරම් ආයතනය කරන ලද යෝජනාව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කර තිබේ.

    මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දියාවේ ඖෂධ පාලක ජනරාල් (ඩී.සී.ජී.අයි) සමඟ සාකච්ඡාවක් ඉල්ලා ඇත.

    කොවිෂීල්ඩ් හි ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් -19 එන්නත මාස 6 සිට නවය දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ සේරම් ආයතනයේ යෝජනාව කර තිබුණේ ප්‍රමාණවත් දත්ත පදනම් කරගනිමිනි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූනේහි පිහිටි සේරම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්දියා (SII) වෙත මෑතකදි නිවේදනය කර ඇත්තේ ප්‍රමාණවත් මාත්‍රාවක් සහිත එන්නත් කුප්පි සකස් කරන ලෙසත් හෝ ඒවා නිකුත් කිරීමේදී ඉහළ පිරිවිතරයක් ක්‍රියාත්මක කරන ලෙසත් ය.

    එන්නත් කුප්පියේ ආයු කාලය යනු එන්නත භාවිතයට සුදුසු කාලයයි.

    ඩීසීජීඅයි පෙබරවාරි මාසයේ දී එස්අයිඅයි වෙත ලිපියක් යවමින් කියා සිටියේ ‘කෝවිෂීල්ඩ් එන්නතෙහි ආයු කාලය දීර්ඝ කිරීම’ සම්බන්ධයෙන් බහු මාත්‍රා වීදුරු බඳුනක (මාත්‍රාව -5 මිලි) මාස හයේ සිට මාස නවය දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන්ට විරුද්ධත්වයක් නොමැති බවයි.

    ඉන්දීය ඖෂධ නියාමකගේ තීරණය එන්නත් නාස්තිය අවම කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට උපකාරී වනු ඇත.

    පෙබරවාරි 22 දිනැති එක්සත් රාජධානියේ ඖෂධ නියාමකයාගේ යාවත්කාලීන කිරීමකට අනුව, ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් -19 එන්නතෙහි ආයු කාලය මාස හයකි.

    මේ අතර, යුරෝපා සංගමයේ සෞඛ්‍ය ඒජන්සිය එන්නත හා දුර්ලභ රුධිර කැටි ගැසීම් අතර “සම්බන්ධයක්” ඇති බව නිගමනය කළ නමුත් කෝවිඩ් -19 වලින් ආරක්ෂා වීම සඳහා එන්නතෙන් ලැබෙන ප්‍රතිලාභ අඛණ්ඩව අවදානම් ඉක්මවා යන බව අවධාරණය කර තිබේ.

    නොමනා ලෙස අධිවේගයේ ගිය අය හදුනා ගනී

    0

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය කළ මෝටර් රථයේ හිමිකරු මෙන්ම අනාරක්ෂිතව අධිවේගී මාර්ගයේ එම රථය ධාවනය කළ රියදුරුව හදුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    මෝටර් රථයේ මුල් ලියාපදිංචි හිමිකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයාගෙන් එම මෝටර් රථය අලවතුගොඩ පදිංචිකරුවෙකු මිලදී ගෙන ඇතැයිද අනාවරණය වී තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස එම මෝටර් රථය පදවා ඇත්තේ ඔහුගේ පවුලේ පිරිසකි. ඔවුන්ට පොලීසිය හමුවේ හෙට (12) දිනයේ පෙනී සිටින ලෙස අද (11) සවස වන විට දැනුම් දී තිබුණි.

    මෝටර් රථය පැදවූ රියදුරුට අමතරව මෝටර් රථයේ ජනේල් වලින් පිටතට සිය සිරුරු දමාගෙන අනාරක්ෂිත ලෙස සහ සෙසු වාහනවලට අවධානමක් ඇතිකරමින් ගමන් කිරීම සම්බන්ධයෙන් ඒ අයට එරෙහිවත් නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    වැලිකඩ හිරගෙදර අලුත් කොවිඩ් පොකුරක්

    0

    වැලිකඩ බන්ධනාගාරය තුළ නව කොවිඩ් පොකුරක් බිහිවෙමින් ඇතැයි බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.

    වැලිකඩ බන්ධනාගාරය තුළ ඉකුත් 08 සහ 09 යන දින දෙකේ කරන ලද පී.සී.ආර්. පිරීක්ෂාවකින් බන්ධනාගාරය තුළ හටගෙන ඇති නව කොවිඩ් පොකුර ගැන තොරතුරු අනාවරණය වී තිබේ. කොවිඩ් 19 වෛරස ආසාධිතයන් 105 දෙනෙක් දින දෙක තුළ කෙරුණු පී.සී.ආර්. පරීක්ෂාවෙන් හදුනාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

    එම ආසාදිතයන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බවද චන්දන ඒකනායක මහතා සදහන් කළේය.

    මෙසේ නව කොවිඩ් පොකුරක් බිහිවී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයට දෛනිකව අධිකරණ වලින් යොමු කෙරෙන සිරකරුවන්ගෙන් බව වැලිකඩ බන්ධනාගාරයේ තොරතුරු අනාවරණය කළේය. දෛනිකව මේ දිනවල සිරකරුවන් 40 ක් 550 ක් පමණ බන්ධනාගාරයට එක්වන බවත් ඒ අයව වෙනම කොටසක රදවා තබා පී.සී.ආර්. පරීක්ෂාවක්කර සෙසු සිරකරුවන් රදවා තැබෙන වාට්ටුවලට ඇතුලත් කෙරෙන බව වැලිකඩ බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    ෆීජි අභියාචනාධිකරණයට ශ්‍රී ලාංකික වැඩබලන සභාපතිවරයෙක්

    0

    ෆීජි රාජ්‍යයේ අභියාචනාධිකරණ වැඩබලන සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකික විනිසුරු, ආචාර්ය ජයන්ත ද අල්මේදා ගුණරත්න මහතා අද දිනයේදී දිවුරුම් දී තිබේ.

    ෆීජි හි ජනාධිපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෝජි කොන්රෝට් හමුවේ දිවුරුම් දීම පැවැත්විණි.

    වර්තමාන පත්වීම පිළිගැනීමට පෙර ආචාර්ය ගුණරත්න මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති නීතිඥයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

    ඔහු ප්‍රධාන වශයෙන් මහජන නීතිය, පරිපාලන හා ව්‍යවස්ථා නීතිය, ඉඩම් නීතිය, ගොඩනැගිලි නීතිය සහ සිවිල් ක්‍රියා පටිපාටිය යන ක්ෂේත්‍ර කිහිපයක පෙනී සිටියේය.

    ඔහු කොළඹ විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු සහ විභාග පරීක්‍ෂකවරයකු ද විය.

    ඔහු ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම ඇතුළු දේශීය හා ජාත්‍යන්තර සංවිධාන කිහිපයක සම්පත්දායකයකු සහ උපදේශකවරයකු ද විය.

    මෙරට ලක්ෂ 9කට අධික පිරිසක් කොවිඩ් එන්නත අරන්

    0

    අංජනා මල්ලවආරච්චි

    මෙරට පුද්ගලයින් නව ලක්ෂ විසිපන් දහස් දෙසිය හතළිස් දෙකකට (925,242) මේ වන විට කොවිෂීල්ඩ් එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරසිංහ මහතා කීය.

    මීට අමතරව මෙරට වැඩ කරන චීන කම්කරුවන් 2469 දෙනෙකුටද චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත ලබා දුන් බව ද කීය.

    මේ අතර කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට අලුත් අවුරුදු උත්සව කාලයෙන් පසුව දෙවන මාත්‍රාව ලබා දෙන බවද සුදත් සමරවීර මහතා කීය.

    අධිවේගයේ නොමනා ලෙස ගිය අය ගැන අමාත්‍යාංශයකින් පැමිණිල්ලක්

    0

    සිය සිරුරුවලින් අඩක් පිටතට දමාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක් ධාවනය කළ රියදුරෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භකර තිබේ.

    නිල් පැහැති එම මෝටර් රථය අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනයේ යෙදවෙන ආකාරය වෙනත් මෝටර් රථයක ගමන් කළ පුද්ගලයෙන් වීඩියෝගත කර සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හුවමාරු කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශය පොලීසියට කළ දැනුම් දීමකට පොලිස් විමර්ශන ආරම්භ වී ඇත.

    මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසක් දොර කවුළුවලින් පිටතට පැමිණ දොරවල් මත හිඳගෙන අනාරක්ෂිත ලෙස ගමන්කරනු එම වීඩියෝවේ දැක්වේ.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ එම මෝටර් රථය ගමන් කර තිබේ.

    මොටර් රථයේ ලියාපදිංචි අංකයට අනුව පරීක්ෂා කිරීමේදි එම රථය මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බව අනාවරණය වූ බවත් ඔහු එම රථය තවත් පුද්ගලයෙකුට ලබාදී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    නිල්වැල්ල දියයට කලාගාරය ජනතා අයිතියට

    0

    ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නිල්වැල්ල සුන්දර වෙරළතීරයට වැඩි ආකර්ෂණයක් ගෙන දෙමින් නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ නිල්වැල්ල දියයට කලාගාරය (Underwater Gallery Nilwella) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින් ඊයේ ( 10) ජනතා අයිතියට පත් කෙරිණි.

    මෙම ආකර්ෂණිය දියයට කලාගාරය මීටර 100ක පමණ දිගකින් සහ මීටර 40ක පමණ පළල වපසරියක විහිදී ඇති නගරයක ස්වරූපය පිළිඹිඹු වන අයුරින් නිර්මාණය කර ඇත.

    ස්වාභාවික මෙන්ම මිනිස් ක්‍රීයාකාරකම් හේතුවෙන් මුහුදු ජීවීන්, මුහුදු ශාක සහ කොරල්පර විනාශය වළක්වා සාගරික පරිසර පද්ධතිය රැකගනිමින් කෘතීම මත්ස්‍ය අභිජනන පරිසරයක් ඇති කිරීමත්, කොරල්පර වර්ධනය සඳහා කෘතීම උපස්ථර නිර්මාණය කිරීමත් මඟින් සංචාරකයින් සඳහා නවමු අත්දැකීමක් ගෙන දීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවර අමාත්‍යාංශය සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව මාතර නිල්වැල්ල ආශ්‍රිත මුහුදු තීරයේ මෙම දියයට කලාගාරය ස්ථාපිත කරන ලදී.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟපෙන්වීම මත දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ මෙය ඉදිකර ඇත.

    නිල්වැල්ල වෙරළ සහ දූපත දෙස් විදෙස් කිමිදුම් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමඳව ඇති සුන්දර වෙරළ තීරයකි.

    දියයට සුන්දරත්වය විඳ ගැනීම සඳහා මේ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයින් නිරන්තර කිමිදුම් කටයුතු සිදු කරනු ලබයි.

    සංචාරකයින් සඳහා නවමු අත්දැකීමක් ගෙන දෙමින් පරිසර හිතකාමී අමුද්‍රව්‍යයන් යොදා ගනිමින් නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද මිනිස් රූප ඇතුළු විවිධ නිර්මාණාත්මක ආකෘතීන්, ගොඩනැගිලි ආකෘතීන් මෙන්ම භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ ඇතුළු රථ වාහන, ගුවන් යානා සහ කොරල් වර්ධනය සඳහාම නිර්මාණය කළ උපස්ථර ඉතා ආකර්ශණිය ලෙස මෙම දියයට කලාගාරය තුල ස්ථානගත කර ඇත.

    මෙහි ඇතැම් ආකෘති කුඩා ගල් කැබලි එකිනෙක සම්බන්ධ කරමින් නිර්මාණය කර ඇති බැවින් එම පෘශ්ඨ මත මුහුදු ශාක සහ කොරල් පහසුවෙන් වර්ධනය වී ස්වාභාවික මත්ස්‍ය අභිජනනයට හිතකර පරිසරයක් ඉතා අඩු කාලසීමාවකින් නිර්මාණය වනු ඇත.

    තවද, කිමිදුම් කරුවන්ට පමණක් නොව දෙස් විදෙස් සියළුම සංචාරකයින් හට මුහුද මතුපිට පිහිනීම මඟින් සහ වීදුරු පතුලක් සහිත ඩිංගි යාත්‍රා මගින්ද මීටර 04 සිට මීටර 10 දක්වා ගැඹුරට විහිදී ඇති මෙම ආකර්ෂනීය දියයට පරිසරය පහසුවෙන් දැක බලා ගැනීමේ හැකියාව පවතී.

    මත්ස්‍ය අභිජනනය සඳහා හිතකර ලෙස දියයට පරිසරය සකස් කිරීම මඟින් අනාගතයේ ඉතා වැඩි ආර්ථික ප්‍රථිලාභ හිමිකර ගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර, මෙවැනි කාලෝචිත පාරිසරික සත්කාරක ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව තම වෘත්තීමය නිපුණත්වය සහ ශක්‍යතාවයන් ඉදිරියටත් මනාව උපයෝගී කර ගැනීමට නිරන්තර සූදානමින් සිටී.

    මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහයෝගය නාවික හමුදාව වෙත නොමසුරුව ලැබුණු අතර, අද දින මෙම කලාගාරය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, රාජ්‍ය නිලධාරීන්, දකුණු නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වූහ.