fbpx
තවත්
    මුල් පිටුවspecialසියයේ සීමාව 500 කළොත් 77%ක් පාසල් ඇරේ

    සියයේ සීමාව 500 කළොත් 77%ක් පාසල් ඇරේ

    කොවිඩ් වසංගතයෙන් ලොකුම බලපෑම සිදුවී ඇත්තේ අපේ රටේ දරුවන්ට ය. විශේෂයෙන් පාසල් දරුවන්ට ය. ගණනය කර බැලුවහොත් අවුරුද්දක පමණ කාලයක් දරුවන් පාසල් ගිහින් නැත. මෙයට පෙර පාසල් දරුවන්ට මෙවැනි බලපෑමක් එල්ලවුනේ නම් ඒ 88-89 භීෂණ සමයේදී ය. එහිදී මේ තරම් කාලයක් පාසල් වසා තැබුනේ නැත. බලපෑමක් එල්ලවුනත් මේ තරම් දරුණු බලපෑමක් එල්ලවූයේ නැත.

    කොරෝනාවෙන් ආරක්ෂා වන්නට පාසල් වසා දැමීමෙන් පසු දරුවන්ගේ අධ්‍යාපනයට විකල්පයක් ලෙස හදුනාගන්නේ මාර්ගගත (online) අධ්‍යාපනයයි. මුලදී දරුවෝ හරි උනන්දුවෙන් මාර්ගගත අධයාපනයට එක්ව සිටියත් දැන් එය දෙමාපියන්ට පමණක් නොව, දරුවන්ට ලොකු හිසරදයක් බවටයි මේ වෙන කොට පත්ව තිබෙන්නේ. දරුවෝ දැන් මාර්ගගත අධ්‍යාපනයට නොව, මාර්ගගත වීඩියෝ ක්‍රීඩාවන්ට දරුණු ලෙස ඇබ්බැහි වී සිටිති. ඇතැම් දරුවන් පැය ගණන් එකදිගට මේ ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී සිටින්නේ පිස්සුවෙන් මෙනි. මේ ඇබ්බැහියෙන් දරුවන් බේරා ගැනීමට මානසික වෛද්‍යවරුන් සොයා යන දෙමාපියන්ද අද නැත්තේම නැත.

    කොරෝනාවෙන් අපේ දරු පරපුරට සිදුවී ඇති හානිය වීඩියෝ ක්‍රීඩාවට පමණක් ලඝු කරන්නට බැරිය. සංඥා නොමැති කම, ස්මාට් දුරකතන නොමැතිකම නිසා ඈත ගම්වල පමණක් නොව, කොළඹ වැනි නගරවලද දරුවන් මාර්ග ගත අධ්‍යාපනයක් පවා නොමැතිව සිටින බව අප්‍රසිද්ධය. දුරකතන සමාගම් බිලියන වලින් මේ කොරෝනාවෙන් ආදායම් උත්පාදනය කළත් සංඥා ප්‍රශ්නයට නිසි පිළිතුරු අදටත් ලබාදී තිබේදැයි ඇත්තේ ගැටළුවකි. කොළඹ තට්ටු නිවාස සංකීර්ණවල ඉහළ මහලවල්වල සිටින දරුවන්ට පවා නිසි ලෙස සංඥා නොමැතිව මාර්ගගත අධ්‍යාපනය ලැබීමට ඇති ඉඩ ඇහිරී ඇත්තේ එබැවිණි.

    මේ තත්වයෙන් තරමක් හෝ අපේ දරුවන් ගොඩ එන්නට නම් පාසල් නැවත ආරම්භ කල යුතුය. එහෙත් ඊට කොරෝනාව හැම තිස්සෙම බාධා කරති. ඊට සුළු විසදුමක් අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතාගෙන් ලැබී තිබීම ද අගය කළ යුතුය. එනම් දරුවන් 100 අඩු පාසල් විවෘත කිරීමටය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව අපේ රටේ ඇති රජයේ පාසල් ගණන 10165 කි. ඒ අතර ඇති ජාතික පාසල් ඇත්තේ 375 කි. අනිත් පාසල් සියල්ලක්ම පළාත් පාසල්ය. රටේ ඇති ප්‍රධාන පාසල් කිහිපය හැරුණු කොට බහුතරයක් වූ පාසල් ඇත්තේ නගරයෙන් ඈත ගම්වලය. ඒ පාසල්වලට යන්නේ ගමේ දරුවන්ය. නගරයේ පාසල්වල මෙන් දහස් ගණන් දරුවන් ඒ පාසල්වල නැත. ඉන්නේ සීමිත පිරිසක් පමණි. මුළු පාසලේම දරුවන්ගේ දෙමාපියන් නම් වශයෙන් ගුරුවරුන්ද දනිති. කොරෝනාව ඒ පාසල් විවෘත කිරීමට බාධාවක් නැත. ගස් උඩ නගිමින් දරුවන්ට දුරකතන සංඥා සොයමින් යන්න්ට උවමනා නැත.

    රජයේ පාසල් 10165 න්ද පාසල් 1468 ක්ම ඇත්තේ දරුන් 50 අඩු පාසල්ය. ඒ අතර එක් ජාතික පාසලක්ද තිබීම කණගාටුවට කරුණකි. එසේම දරුවන් 51 ත් 100 අතර අධ්‍යාපනය ලබන පාසල්ද 1498 ක් ඇත. අධ්‍යාපන ඇමතිවරයාට අනුව විවෘත වන්නේ 100 අඩු පාසල්ය. ඒ අනුව 100 අඩු පාසල් 2966 ක් ළගදීම විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇත. එය සමස්ත පාසල් පද්ධතියෙන් 30% කට ආසන්න ප්‍රමාණයකි.

    ළමුන් 101 ත් 200 ත් අතර පිරිසක් අධයාපනය ලබන පාසල් අපේ රටේ ඇත්තේ 2152 කි. අපේ රටේ වැඩිහරියක් පාසල් ඇත්තේ ඉඩකඩ විසිරීගිය බිම්කඩවලය. මේ කියන අඩු දරුවන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන පාසල්වල නගරයේ සුපිරි පාසල්වල මෙන් පංති කාමරයක 50 ඉක්මවූ දරුවන් පිරිසක්ද නැත. බොහෝ පාසල්වල එක් පංති කාමරයක දරුවන් සහ දොලොස් දෙනෙක්වත් නැති තරම්ය. ඒ අනුව 100 සීමාව 200 දක්වා ඉහළ නන්වන්නට හැකියාවක් තිබේ නම් කොරෝනාවට අභියෝග කරමින් පාසල් 5118 ක් විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇත. එසේ පාසල් විවෘත කිරීමට හැකියාවක් ලැබේ නම් එය රජයේ පාසල්වලින් සියයට 50 ක පාසල් විවෘත කිරීමකි.

    සීත කාමරවල සිට බොහෝ අය ගණනය කිරීම් කරන්නේ තමන්ගේ දරුවන් යන පාසල් දෙස බලාය. ඒ පාසල්වල දහස් ගණන් දරුවන් අධ්‍යාපනය ලැබූවත් එම දරුවන්ට මාර්ගගත ක්‍රමයට පාසල් අධයාපනය පමණක් නොව, ටියුෂන් අධයාපනය ලැබීමට හැකියාව තිබුණත් ගමේ අහිංසක ගොවියගේ සහ කම්කරුවගේ දරුවාට ඒ පහසුකම හෝ වත්කම මේ මොහොත් නැති තරම්ය. අපේ රටේ පාසල් පද්ධතිය ලෙස බැලීමේදී පෙනී යන සත්‍ය නම් සම්පත් බෙදී යාමේ දැඩි ව්ෂමතාවයක් ඇති බවය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේම තොරතුරුවලට අනුව 500 අඩු දරුවන් ඉගෙනුම ලබන රටේ ඇති පාසල් ගණන 7856 කි. ඒ තුලින් කියැවෙන්නේ ළමුන් 201 ත් 500 අතර පිරිසක් අධයාපනය ලබන පාසල් 2738 ක් ඇති බවය. 500 අඩු පාසල් විවෘත කිරීමට හැකියාවක් තිබේ නම් අධ්‍යාපන අමාත්‍යාංශය කොරෝනාවෙන් ජයගනු නියතය. ඒ සමස්ත පාසල් වලින් 77%ට වැඩි ප්‍රමාණයක් විවෘත කර ගැනීමට හැකියාව ලැබෙන බැවිණි. 500 ට අඩුයැයි සදහන් බොහෝ පාසල් ද පිහිටා ඇත්තේ ගම්මාන ආශ්‍රිතවය. ඒ පාසල් පෝෂණය වන්නේ ගමේ දරුවන්ගෙනි. දුම්රියෙන් බස් එකෙන් රට වටෙන්ම එන දරුවන් ඒ පාසල් වල නැත. මේ පාසල් පද්ධතිය විවෘත කරන්නේ නම් ලක්ෂ 40 ක් පමණ වන දරුවන්ගෙන් අඩකට වඩා පාසල්වල දොරගුළු විවර වනු ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.