fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුෂ්කරතා මැද වැඩකළොත් ප්‍රතිඵලය ඉතිරියි - අගමැති

    දුෂ්කරතා මැද වැඩකළොත් ප්‍රතිඵලය ඉතිරියි – අගමැති

    දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් අප වැඩ කළ යුතු බව අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ‍‍දිවයින පුරා ගම්මාන 500ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව කීය.

    ඒ අනුව නුවරඑළිය මන්දාරම්නුවර බෝංචි බීජ හා කෝපි නිෂ්පාදන ගම්මානය, පේරාදෙණිය උඩුඊරියගොල්ල මල් නිෂ්පාදන ගම්මානය සහ යාපනය සංදිලිපායි පිරාන්පට්රු තල තෙල් නිෂ්පාදන ගම්මානය “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස නම් කරමින් ඊට අදාළ ඩිජිටල් සමරු පුවරු නිරාවරණය කෙරිණි.

    කුරුණෑගල ගනේවත්ත කුඹුක්ගැටේ ගම්මානයේ සහ ගම්පහ මීරිගම කීනදෙණිය ගම්මානයේ ඉදිවූ “සෞභාග්‍යා සෙනෙහසේ නවාතැන” නිවාස ව්‍යාපෘතියේ නිවාස මෙම උත්සවයට සමඟාමීව නිවෙස් හිමියන්ට ප්‍රදානය කෙරිණි.

    ජනතාවට කාර්යක්ෂම හා කඩිනම් සේවාවක් ලබාදීම සඳහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය අද (01) සිට ලබන 07 වැනිදා දක්වා සෞභාග්‍යා – සමෘද්ධි සතිය ප්‍රකාශයට පත් කර තිබේ.

    “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    “මිත්‍රවරුනි,

    අපේ රටේ සමෘද්ධි හා අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීම ගැන අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. මේ වගේ ගෝලීය වසංගතයක් හමුවේදීත් මේ ජනතාව වෙනුවෙන් රජයක් ලෙස යුතුකම් ඉටුකරන්නෙ කොහොමද කියලා අපි කල්පනා කළා. දීමනා දීලා මේ ජනතාව ඉන්න තැනම හැමදාම තියන එක වෙනස් කරන්නයි. අපට උවමනා වුණේ. ඒ වෙනුවෙන් තවත් ඉදිරි පියවරක් තබන්න සෞභාග්‍යා සමෘද්ධි සතියට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

    මිත්‍රවරුනි,

    1994 දි ආරම්භ වුණ සමෘද්ධි ව්‍යාපාරයට දැන් අවුරුදු 27ක්. එදා සමෘද්ධිය ඇරඹුණේ අපේ රටේ දිළිදු ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගන්වන්න. හැබැයි එදා අපේක්ෂා කළ ප්‍රතිඵල තවමත් අපට ලැබුණා ද කියලා අපි ගැඹුරින් සොයලා බලන්න ඕන. එදා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරන විට ඒ තුළින් ආධාර ලබපු අය අදටත් ඒ විදියට ම අධාර ලබනවා නම් අපේ ඒ අපේක්ෂා ඉටුවෙලා නැහැ.

    මිත්‍රවරුනි,

    සමෘද්ධිය ලබාදුන් පමණින් කවුරුත් පොහොසත් වන්නේ නැහැ. ඒ අයට ආදායම් මාර්ගයක් සකසලා දීලා ඔවුන්ට නිසි මග පෙන්වලා දෙන්න උවමනායි. එදා මහින්ද චින්තනයෙන් සහ මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් අපි ඒ බව වඩා හොඳින් තේරුම් අරගෙන සමෘද්ධි ව්‍යාපාරයම ශක්තිමත් කරන්න පියවර ගත්තා. සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් වෘත්තීය පුහුණු වැඩ සටහන් සඳහා යොමු කරලා ඒ අයව නිපුණතා සපිරි ශ්‍රම බලකායක් බවට පත්කළා. ඒ තුළින් බොහෝ ව්‍යවසායකයන් බිහිකරන්න අපට හැකිවුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ අය රජයේ සහ පෞද්ගලික අංශයේ පමණක් නෙවෙයි විදේශ රටවල රැකියා සඳහාත් යොමු කරන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ නිසා බොහෝ පිරිසක් තව දුරටත් ආධාර හෝ දීමනා මත යැපෙන තත්ත්වයෙන් මුදා ගන්න අපට හැකිවුණා.

    මිත්‍රවරුනි,

    අපි සමෘද්ධිය මත නැවතිලා හිටියෙ නැහැ. අදත් අප විශ්වාස කරන්නෙ එතැනින් ඉදිරියට යන්න ඕනි කියලා. සෞභාග්‍යයේ දැක්මෙ ඵලදායී පුරවැසියෙකු වගේ ම සතුටින් ජීවත්වන පවුලක් කියන සංකල්පය අපි ඉදිරියට ගෙනවිත් තිබෙනවා. මේ ඔස්සේ අංග සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් ඇතිකරලා ගම්මාන වශයෙනුත් එම ජනතාව සමෘද්ධිමත් කිරීමයි අපේ අරමුණ වන්නේ. හැබැයි ඔබ තමුන්නාන්සෙලා දන්නවා, ආපස්සට හැරිලා බැලුවම පහුගිය ආණ්ඩු කාලයේ මේ අඩු ආදායම්ලාභි ජනතාව නගා සිටුවීම ගැන හැරිලාවත් බැලුවෙ නැහැ. සමෘද්ධිය දුන්නත්, ඒ සමෘද්ධියත් එයාලගෙ පක්ෂෙ අයට විතරයි කියලා මේ දැවැන්ත ව්‍යාපාරය ඉතාමත් ලඝු තැනකට ගෙනා බව ඔබට මතක ඇති.

    මිත්‍රවරුනි,

    ඒ අයගෙ දේශපාලන උපක්‍රමවල ලියැවිලා තිබුණෙ ජනතාව නගා සිටුවීම නෙමෙයි ඒ අය ඒ තැන්වලම තියලා දේශපාලන වාසියක් ගන්න. අපි කවදාවත් ඒ තැනට වැටුණෙ නැති බව අද සතුටින් කියන්න කැමතියි.
    මට මතකයි ඡන්ද පැරදුණා ම සමහරු මට ඇවිත් කියනවා. කටුමැටි බිත්ති ගෙවල් ගඩොලින් බැඳුනම, බයිසිකලයක්වත් නැතිව තිබුණ ගෙදරට ත්‍රී රෝද රථයක්, හරි වාහනයක් ගත්තම සර් අපි ඡන්ද පරදිනවා කියලා. මම එදත් කිව්වෙ කමක් නෑ ජනතාව හිටපු තැනින් පියවරක් ඉස්සරහට තියලා නම්, ඒකෙන් කියන්නෙ මේ රට තවත් පියවර ගණනාවක් ඉදිරියට ඇවිත් කියලා.

    මිත්‍රවරුනි,

    සමෘද්ධිය වෙනුවෙන් අපි වසරකට රුපියල් මිලියන 50000ක් වැය කරනවා. අපේ රජය දැනටමත් සමෘද්ධි පවුල් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා අලුතින් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරලා තියෙනවා.
    ඒ අනුව ගෘහ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටත්, ඔවුන්ගේ ආදායම් ඉහළ නංවන්නත් අද ආරම්භ කරන මෙම සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට හැකිවෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

    ශෙහාන් සේමසිංහ අපේ රාජ්‍ය ඇමතිතුමා කිව්ව විධියට දිවයින පුරා ගම්මාන 500ක් නිෂ්පාදන ගම්මාන ලෙස හඳුනගෙන අපි සංවර්ධනය කරනවා. ඒ සඳහා සමෘද්ධිලාභීන් විතරක් නෙමෙයි අඩු ආදායම්ලාභීන් සහ නිෂ්පාදන කාර්යයට දායකවන හැමෝමත් එක්කර ගන්නවා කියලයි ඇමතිතුමා කිව්වේ.

    ඔබ දන්නවා වසංගත තත්ත්වය හමුවේ මුළු ලෝකයම විවිධ දුෂ්කරතාවලට මුහුණපානවා. රටක් විධියට අපටත් ඒ දුෂ්කරතා අඩු වැඩි වශයෙන් තිබෙනවා. නමුත් සියලු දෙනාගේ ම සහයෝගයෙන් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රමවත්ව ඉදිරියට ගෙනියන්න අපට අද හැකිවෙලා තියෙනවා. ජනතාව ඒ ගැන විශ්වාසය තබා කටයුතු කිරීම රජයට ලබා දෙන ශක්තියක් බව මා මෙහි දී මතක් කරන්න ඕනි. දේශීය ආර්ථිකය නගා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙනයාමේ අපේ අරමුණ වෙනුවෙන් අපි වැඩකරන බව ජනතාවට සිහිපත් කරන්න කැමතියි.

    අද ඇරඹෙන මේ වැඩසටහන තුළත් ග්‍රාමීය ප්‍රජාව සෘජුවම රටේ නිෂ්පාදන කාර්යයට දායක කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔවුන්ට විකල්ප ආදායම් මාර්ග නිර්මාණය වනවිට ඒ හා සමානව ඔවුන්ගෙ ජීවන තත්ත්වය ඉහළ යනවා. අද මේ නිවාස ලැබු ජනතාව ගත්තත් ඔවුන්ට හෙට ඉඳන් පටන් ගන්න තියෙන්නෙ අලුත් ජීවිතයක්. අලුත් බලාපොරොත්තුවකින් වැඩ කරන්න ඔවුන්ට පුළුවන්. ඒ සඳහා මේ අමාත්‍යාංශය කරන මග පෙන්වීම අපි ඉතාමත් අගය කළ යුතුයි.

    අපේ විරුද්ධ පක්ෂය නම් කැමතියි අපි කොවිඩ් කියලා මොකුත්ම නොකර ඉන්නවා නම්. මොකද කොවිඩ් නැතිවත් මොකුත් නොකර හිටපු අය, මේ කාලේ හිටිය නම් කොහොමද කියලා බලාගන්න තිබුණා. ජනතාවට මේවා හංගන්න පුළුවන් කාරණා නෙමෙයි. එයාලත් මේවා අහනවා. ඒ නිසා දුෂ්කරතා මැද අපි වැඩකළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් අපි වැඩ කරමු.

    අද මේ සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කැපවන රාජ්‍ය අමාත්‍යතුමා, ලේකම්තුමා ඇතුළු නිලධාරින් ඒ වගේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සෞභාග්‍යා සංවර්ධන කාර්යංශය ඇතුළු ආයතනවල නිලධාරින් හා සේවක මහත්ම මහත්මීනුත් මා මේ මොහොතේ ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

    ඔබ සැමට සුබ අනාගතයක්!”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.