fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"නැවතුණු තැනින් පටන්ගමු" -ජපානය කියයි

    “නැවතුණු තැනින් පටන්ගමු” -ජපානය කියයි

    ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළත්, ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මිය ඇගයීමට ලක්කර තිබේ.

    දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන විදේශ අමාත්‍යවරිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදි අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සහ සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය ඇතුළු ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කිරීම තම රජයේ අරමුණ බව ද ජපාන විදේශ අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් තැබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
    කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින ජපාන විදේශ අමාත්‍ය කමිකාවා මහත්මිය, ශ්‍රී ලංකාවේ ඊට අදාළව නව නීති සම්පාදනය කරමින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති සාධනීය පියවර ඇගයීමට ලක් කළාය.

    ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ඓතිහාසික සබඳතාව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම තම අරමුණ බවද පැවසීය.

    පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දුන් සහාය පිළිබඳව සිය ස්තූතිය පිරිනැමීමටද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.