fbpx
තවත්
    මුල් පිටුවspecialH. A. I. ගුණතිලක - ලංකාවේ පුස්තකාල නම් කිරුළ මත දිලෙන 'කොහිනූර්'...

    H. A. I. ගුණතිලක – ලංකාවේ පුස්තකාල නම් කිරුළ මත දිලෙන ‘කොහිනූර්’ දියමන්තිය ඔහුය.


    ලංකාවේ එතෙක් මෙතෙක් පහළ වූ අසහාය ග්‍රන්තනාමාවලි සම්පාදකයා වූ ඔහු සැබෑ බුද්ධිමය බලකොටුවකි. බුද්ධියේ රශ්මිය සොයා එන්නාට ඒ මහා බලකොටුවේ දොර පවුරු විවර විය.ලෝක පුස්තකාල විද්‍යාවේ පියා වූ එස්. ආර්. රංගනාතන් වෙතින් සෙවනැලි ලත ඔහු නොමැතිව ලංකාවේ පුස්තකාල විද්‍යාවක් ගැන කතා කිරීම වුවද අපරාධයකි. ඔහු නමින් ආචාර්ය ඉයන් ගුනතිලකයන්ය. බොහෝ දෙනෙකුට මගහැරුණු එහෙත් අල්වා තබා ගතයුතුම මිනිසෙකු වූ ඔහු පිලිබඳ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් තැබූ පර්යේෂණාත්මක ලිපිය මෙලෙස දක්වාලමු.
    දැනුම, බුද්ධිය ගුරුකොට තකන්නෝ මෙය ස්පර්ශ කරත්වා .

    හැඳින්වීම

    හෙන්රි ඇල්ෆ‍්‍රඞ් ඉයන් ගුණතිලක හෙවත් එච්.ඒ.අයි. ගුණතිලක වූකලී විසිවැනි ශත වර්ෂයේ ශ‍්‍රී ලංකාවේ පහළ වූ අතිශය විරල ගණයේ බුද්ධි ප‍්‍රභාවක් සහ ජීවන විලාසයක් සහිත ව දිවි ගෙවූ ප‍්‍රභාස්වර පඬිරුවනකි. ඔහු මෙතෙක් මේ දිවයිනෙහි ජනිත වූ අග්‍රේසර ශාස්ත‍්‍රීය පුස්තකාලයාධිපතිවරයා (academic librarian) යන අතිවිශිෂ්ටතම ග‍්‍රන්ථ නාමාවලී සම්පාදකවරයා (bibliographer) ය. විෂය විෂයාන්තර ඥාන පාඨවයක් විශද කළ හෙතෙම ඉංග‍්‍රීසි භාෂාව අතිශය ගැඹුරු හා පෘථුල පරිමාවකින් භාවිත කළ වාගීශ්වරයාණ කෙනෙකි. කාව්‍යය සහ ලලිත කලා විෂයෙහි විද්වත් විචාරකයෙකි. විශ්වවිද්‍යාලයීය වෘත්තියේ උදාරතර වෘත්තීය භාවයක් සිය මරණය තෙක් ම අත්නොහළ පරීක්ෂිත ජීවන විලාසයක් මගින් සාධනය කළ අයෙකි. ලක්දිව සහ ජාත්‍යන්තරයේ බොහෝ දෙනා පිළිබඳ ව විස්තෘත ව ලියූ ඔහු පිළිබඳ ලියැවුණු දෑ අල්ප ය. මෙම විවරණිකාව ද එකී රික්තය පුරවාලන්නේ නිසැක ව ම මඳ වශයෙනි. 

    දිවිමග තතු

    1922 ජනවාරි මස 05 වැනි දා ජන්මලාභය ලද එච්.ඒ.අයි. ගුණතිලකයෝ 2003 මැයි මස 23 වැනි දා කොළඹ මහරෝහලේ දී අසූ එක් වියැති සිය දිගු දිවි සැරිය නිම කළහ. අවසන් වසර කිහිපය අතුරුගිරිය, ඔරුවල මහජන මාවතෙහි සරල – කුඩා නිවසක ඉතා අවම පහසුකම් හා උපභෝග – පරිභෝග භාණ්ඩ අවම ප‍්‍රමාණයක් සමඟ සැබෑ අල්පේච්ඡු දිවියක් ගත කළ හෙතෙම ඓන්ද්‍රීය හා අව්‍යාජ බුද්ධිමතෙකුගේ නිත්‍ය දිවි පෙවෙතකට හා ජීවන විලාසයකට  සජීවී නිදර්ශනයක් ම වී යැ. ඊට ප‍්‍රථම පේරාදෙණි උදුල මිටියාවතෙහි ඉහළ හන්තානය ඇතුළු කිහිපපළක් ද නාවින්න – විජේරාම පෙදෙස ද මෙතුමාට නවාතැන් සැපයූ ප‍්‍රදේශ විය. ඔහුගේ දිවියෙහි කිනම් අඩවිය සලකා බැලූව ද එය නිර්ව්‍යාජ මහා ප‍්‍රාඥයෙකුගේ ජීවිත චාරිකාවකට පමණක් ම පොහොනා නිදසුන් සම්පාදනයකි.

    1926 දී සිය පියාගේ අකල් වියෝගයෙන් පසු ඉයන් ගුණතිලකයන්ගේ පාසල් අධ්‍යාපනය ස්ථාන කිහිපයක් කරා සංක‍්‍රමණය විය. ගල්කිස්ස ශාන්ත තෝමස් සහ ගාල්ල රිච්මන්ඞ් යන සුප‍්‍රකට තක්ෂිලාවෝ මේ බුද්ධි ජීවියාගේ පාසැල් අධ්‍යාපනය ශක්තිමත් පදනමක පිහිටුවාලූහ. බාල වියේ දී ම මව්පිය වියෝගයට මුහුණ දුන් හෙතෙම මිත්තණිය සෙවණෙහි රැුකවරණය ලද බව පෙනී යයි. 1937 පමණ ලංකා විශ්වවිද්‍යාලයීය කොලීජියට (Ceylon University College) ඇතුළත් වූ ගුණතිලකයෝ 1940 දී සිය ප‍්‍රථම උපාධිය ලදහ. එතුමන්ගේ දිවිමග තොරතුරු කාලානුක‍්‍රමික ව එතුමා අතින් ම හෝ අන්‍යයන් අතින් හෝ ලියැවුණු තැන් විරල ය. එනිසා ඇතැම් කරුණුවල හා වර්ෂ වකවානුවල නිරවද්‍යතාව නැවත නැවත සත්‍යෙක්‍ෂණය කළ යුතු ව ඇත. එම කරුණ සදය සෝපහාසයක් නගන්නේ ගුණතිලකයන් අන්‍යයන් පිළිබඳ ලියූ දෑ සහ ලියූ අයුර සිහි ගැන්වෙන විට ය. ඉතා කුඩා සටහනක් හදිසියේ කලබලයෙන් තැබූව ද එය තථ්‍ය ලෙස, නිවැරදි ලෙස මෙන් ම ග‍්‍රන්ථනාමාවලීකරණයේ ශික්ෂිත වියරණයට අනුකූල ව පමණක් තබා ඇත. ඇතැම් පෞද්ගලික සටහන් සහ පෑනෙන් හෝ පැන්සලයකින් පොත් මත, පොත්වල අවසන් පිටුවක තබා ඇති ලූහුඬු සටහන් මගින් මේ බව පෙනී යයි.

    1952 වන විට ගුණතිලක මධුරාසි සරසවියේ පශ්චාත් උපාධි පාසලට සම්බන්ධ වී පුස්තකාලයීය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි කටයුතුවල නිරත ව සිටි බව තහවුරු වේ. 1952 වන විට එකී සරසවියේ දී ජාත්‍යන්තර කීර්තිධර පුස්තකාලයාධිපතිවරයෙකු සහ පුස්තකාලයීය න්‍යායධරයෙකු වන එස්. ආර්. රංගනාදන් විද්වතාගේ ඇසුර ගුණතිලකයන් වෙත ලද බව පැහැදිලි ය. 1952 ඔක්තෝබර් මස 07 වැනි දා ලංකා සරසවියේ ප‍්‍රධාන පුස්තකාලය කොළඹ සිට පේරාදෙණි පරිශ‍්‍රයට මාරු කෙරිණ. ලක් සරසවි ප‍්‍රධාන පොත්ගුල එතරම් විස්තෘත ව නොතිබුණු එකල පුස්තකාලයේ සේවයෙහි  නියුතු නිලධාරීහු ද බහුල ව නො සිටියහ. ප‍්‍රථම සහකාර  පුස්තකාලයාධිපතිවරයා  වූයේ 1947 දී බඳවා ගත් පී. කන්දයියා නම් වූ කේම්බ්‍රිජ් විද්වතා ය. ඉන්පසු ව ඇති වූ  පුරප්පාඩුව 1952  පමණ වන විට ප‍්‍රසිද්ධ කළ අතර එම තනතුර සඳහා ඉයන් ගුණතිලකයෝ මධුරාසියේ සිට ඉල්ලූම් කළහ. එම සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමට හෙතෙම ගුවන් මගින් රත්මලාන කොළඹ ගුවන්තොටට පැමිණි අයුරු සහ කුලී රියකින් සරසවියේ විද්‍යාල මන්දිරය වෙත ගිය අයුරු ඔහු විසින් ම විස්තර කරනු ලැබ ඇත. එකී විස්තරය අඩංගු වන්නේ 1997.01.05 දා සිය 75 වන උපන් දිනය ද සමරමින් පේරාදෙණි සරසවි පුස්තකාලයේ දී පැවති මහෝත්සවයේ දී කළ කතාව තුළ ය. ස්ටැන්ලි කිරින්දේ නම් වූ සිය සමකාලීන සුප‍්‍රකට චිත‍්‍ර ශිල්පියා විසින් අඳින ලද ගුණතිලකයන්ගේ ප‍්‍රතාපවත් ආලේඛ චිත‍්‍රය විවෘත කරන ලද්දේ ද එදින ය. එදින කරන ලද සියලූ ම දේශන (මහාචාර්ය සී.එම්. මද්දුම බණ්ඩාර, එන්.ටී.එස්.ඒ. සේනාධීර, මහාචාර්ය කේ.එන්. ඕ. ධර්මදාස, මහාචාර්ය ඈෂ්ලි හල්පේ  සහ ආචාර්ය ඉයන් ගුණතිලක (Unveiling of the portrait of Mr. H.A.I. Goonetileke) නම් පුස්තකාලය මගින් පළ කළ පුස්තිකාවෙහි ඇතුළත් වී ඇත. ගුණතිලක සිය පෞද්ගලික දිවි තොරතුරු සහ හැඟීම් හෙළි කළ දුලබ අවස්ථාවක් ලෙස එම දෙසුම සැලකිය හැකි ය.

    සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ කුටිය වෙත ගුණතිලකයන් යන විට එය අවසන් වී හෝරා තුනක් ඉක්ම ගොස් තිබුණ ද විශ්වවිද්‍යාලයාධිපති වූ ආචාර්ය අයිවර් ජෙනින්ග්ස් තමා ව පිළිගෙන පරීක්ෂණය පැවැත්වූ ආකාරය ගැන යථෝක්ත කතාවේ දී ඔහු විස්තරාත්මක ව අනාවරණය කරයි. අවසන් ප‍්‍රතිඵලය ලෙස ලක් සරසවියේ මහා පුස්තකාලයේ සහකාර පුස්තකාලයාධිපති තනතුර (Assistant Librarian) සඳහා 1953 දී ඉයන් ගුණතිලක ව බඳවා ගැනිණ. එතැන් පටන් මේ ඓතිහාසික සත්මහල් ග‍්‍රන්ථ ප‍්‍රාසාදයෙහි ඔහු හෙබවූ තනතුරු විටෙක සිහි තබාගත යුතු මංසලකුණු ද වන්නේ ය. ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති (Senior Assistant Librarian) තනතුරින් අනතුරුව 1971 සිට 1979 විශ‍්‍රාම ලබන තුරු ඔහු එම ගත් පායෙහි, මහා අර්ණවයෙහි කප්පිත්තා ද විය. එනම් පුස්තකාලයාධිපති (Librarian) වී ය. එකී අටවසර තුළ විශ්වවිද්‍යාලයේ නාමය කිහිපවරක් වෙනස් විය. 1971-72 ඔහු පුස්තකාලයාධිපති ය. ලංකා විශ්වවිද්‍යාලය (University of Ceylon) එහි නම වී ය. 1972-78 ඔහු පුස්තකාලයාධිපති ය. පේරාදෙණි මණ්ඩපය (Peradeniya Campus) එහි නාමය වී ය. 1978-79 ඔහු පුස්තකාලයාධිපති ය. පේරාදෙණි විශ්වවිද්‍යාලය (University of Peradeniya) එහි නාමය වී ය.  ඒ සංක‍්‍රාන්ති සමයේ විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ  විවිධ ඛණ්ඩනයන් වළකමින් එහි ස්ථිරතාව සුරැකි මහා ජවය වූයේ ඉයන් ගුණතිලක ම ය.

    ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන සමාජ විද්‍යා විෂයෙහි ප‍්‍රාමාණික මහාචාර්ය එච්.ඇල්. සෙනෙවිරත්න නිරතුරු ව ගුණතිලකයන් විඥාපනය කළේ ‘පිරුණු කළය’ හෙවත් ‘පූර්ණ ඝටය’ ලෙස ය. එය සත්‍යයක් ම ය. විද්වත් ගුණතිලක ලබා තිබූ අර්ථ සිද්ධිය හා මහා ප‍්‍රාමාණිකත්වය ඊට දෙස් දෙයි. වර්ෂ 1960 දී පමණ හැරී පීරිස් නම් අනගි චිත‍්‍ර ශිල්පියාගේ හඳුන්වාදීම් ලිපි කැබැල්ලක් සහිත ව ‘මහාචාර්ය’ සුචරිත ගම්ලත් ශිෂ්‍ය මානවකයා ඉයන් ගුණතිලක ඉදිරියේ සිටගති. එතැන් සිට සිදුවූයේ කුමක් ද? ගම්ලතුන් වදන් මෙබඳු ය. “එතැන් පටන් මියයෑමට ළං වන තෙක් ම ගුණතිලකයෝ මට ගුරුදේව ව විසූහ. ඔවුන්ගේ මගපෙන්වීම මට මහඟු ඵල ගෙන දුණි.” (ගම්ලත් 2003).

    ගම්ලතුන්ගේ නිර්ලෝභී ප‍්‍රකාශයෙන් ද ගුණතිලකයන්ගේ ප‍්‍රඥා පාඨවයේ අයම – විතර ඇඟවෙයි. තද් ලිපියෙහි ම ගුණතිලකයන් සාක්ෂාත් කළ ඇතැම් ජයග‍්‍රහණ කිහිපයක් ගම්ලත් විසින් පෙළ ගස්වනු ලැබ ඇත.

    01. 1956 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ජෝන් ඩන්කන් කව්ලි ත්‍යාගය ලැබීම. 1919 දී මෙම ත්‍යාගය පිහිටුවූ දා පටන් එය ලත් ප‍්‍රථම ආසියානුවා ඔහු ය.

    02. 1977-78 එක්සත් ජාතීන්ගේ පුස්තකාල උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වය ලද එක ම ශ‍්‍රී ලාංකික පුස්තකාලයාධිපතිවරයා වීම.

    03. එංගලන්තයේ සහ අයර්ලන්තයේ පුස්තකාල සංගමයේ අධිසාමාජිකත්වය ආචාර්ය උපාධි නිබන්ධනයක් මගින් ලත් ප‍්‍රථම ලාංකික පුස්තකාලයාධිපති වීම.

    04. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යා ආචාර්ය උපාධි නිබන්ධ පරීක්ෂකත්වය ලත් ප‍්‍රථම ශ‍්‍රී ලාංකික පුස්තකාලයාධිපති වීම. (එම*.

    ”කෙබඳු නැණ පහනක් ද නිවුණේ” යන සිරස්තලය යටතේ ගම්ලතුන් ලියූ යථෝක්ත ලිපියේත් ‘Federation of Library Association’ ආයතනය පිරිනැමූ අධිසාමාජිකත්වයක් ගැන සඳහන් වේ. එතැන දී විශිෂ්ට සාමාර්ථයක් ලද උපාධි නිබන්ධයේ මාතෘකා පාඨය මෙසේ ය.

     “A Bibliography of Ceylon – A Systematic Guide to the Literature on the land, people, history and culture published in Western Languages from the 16th century to the present day”

    මේ පර්යේෂණ නිබන්ධ නාමය ලොව පර්යේෂණ ශික්ෂාකාමී විද්‍යාර්ථීන් තුඩතුඩ රැව් දෙන වදන් පෙළක් බවට පත් විණ. ඒ එසේ වූයේ ගුණතිලකයන් විසින් පසු කාලයේ අඛණ්ඩ ජීවන ක‍්‍රියාව ලෙස සම්පාදිත මහා ග‍්‍රන්ථනාමාවලිය එමගින් උපදින බැවිණි. එය වෙන ම විස්තර කළ මනා ය.

    1971 දී ගුණතිලකයන් පේරාදෙණි විසල් පොත්ගුලෙහි අධිපති වන්නේ එහි සිව්වැනි පුස්තකාලයාධිපති ලෙසිනි. කේ.ඞී.සෝමදාස ඔහුගේ අනුප‍්‍රාප්තික පුස්තකාලයාධිපති ය. නියමිත කාලයට පූර්වයෙන් ගුණතිලකයන් 1979 දී සිය වෘත්තීය දිවියෙන් විශ‍්‍රාම ලදුවත් ඔහු සිය ශාස්ත‍්‍රීය දිවියට මරණය තෙක් ම ඉසිඹු නොදුන්නේ ය. 1991 දී පේරාදෙණි විශ්වවිද්‍යාලය සිය රජත ජයන්තිය සමරන අවස්ථාවේ සිය විශ්වවිද්‍යාලයීය මහාත්මය සුපෝෂණය කළා වූ ප‍්‍රඥා ප‍්‍රාසාදයක් බඳු ඉයන් ගුණතිලකයන්ට සම්මාන ආචාර්ය උපාධියක් (Doctor of Letters) පිරිනැමුවා ය. එදින උපාධි ප‍්‍රදානෝත්සව දේශනයට ද ඇරයුම් ලදුයේ ඔහු ය. අසනීප තත්ත්වයක් බැවින් එදින සහභාගි වීමට නොහැකි වූ ඔහු 1997 සිය ආලේඛ රුව නිරාවරණිත දා සිදු වූ පමාවට සමාව අයැදිමින් දිගු දෙසුමක් කළේ ය.

    විශ‍්‍රාම සුවය ගුණතිලක වෙත ගෙන ආයේ තවතවත් තත්පර ව සේවයේ නිමග්න වීමට අවකාශයකි. 1982 දී යාපනය පුස්තකාලය නැවත ගොඩනැංවීම බඳු සංවිධානවලට බැඳී වඩාත් යුහුසුළු ව කටයුතු කිරීම, මාර්ග ආයතනය ප‍්‍රගතිය කරා මෙහෙයවීම ඒ අතර තිබුණි.

    ඉතාමත් තීව‍්‍ර සෞන්දර්යකාමියෙකු වූ ගුණතිලක ජීවිත  කාලයක් පුරා රැුස් කළ කලා නිධියක් බඳු ප‍්‍රඥා ධනස්කන්ධය තමා  ගොඩ නැංවූ පේරාදෙණි සරසවියට ම පරිත්‍යාග කළේ ය. අද ද පොත්ගුලට පිවිසෙන්නෙකුට ඉයන් ගුණතිලක එකතුවට අයත් චිත‍්‍ර – වෙස් මුහුණු හා ප‍්‍රදර්ශන භාණ්ඩ රැුසක් දැකිය හැකි ය. ඔහුගේ ග‍්‍රන්ථ සංචිතය වෙන ම කාමරයක රැුස් කර ඇත. ඔහුගේ මරණින් පසු 2004.03.28 වන දා උපකුලපතිවර  කපිල ගුණසේකර කෞතුකාගාරයක් වෙනුවෙන් මංගල පස් පිඩැල්ල කැපී ය. ඉදිවීමට නියමිත ස්මාරකයට නම් තබා තිබුණේ ”සමකාලීන කලාව පිළිබඳ ඉයන් ගුණතිලක සහ රොස්ලින් ගුණතිලක කලාගාරය සහ කෞතුකාගාරය” වශයෙනි. එහි තැබීමට නියමිත ව තිබුණේ සුවිශාල චිත‍්‍ර එකතුවකි. රිචඞ් ගේබ්‍රියල්, අයිවන් පීරිස්, ස්ටැන්ලි කිරින්දේ බඳු ලෝ ප‍්‍රකට ලාංකිකයන් ඇඳි චිත‍්‍ර ඒ අතර තිබුණි. සිය කල්යාණ මිත‍්‍ර චිත‍්‍රකලා විශිෂ්ටතමයා වූ ජෝර්ජ් කීට් ඇඳි චිත‍්‍ර පමණක් 100කට ආසන්න ව තිබුණි. එහෙත් යථාර්ථය නම් අද එබඳු කලාගාරයක් පේරාදෙණියේ දක්නට නොමැති වීම යි. ඒවා ‘ඛේදවාචක’ ලෙස හැඳින්වීම ද අර්ථ විරහිත ය.

    බිරිඳ හෙවත් ආදරණීයි

    ඉයන් ගුණතිලකගේ ප‍්‍රිය භාර්යාව වූයේ හෙට්ටිආරච්චිගේ රොස්ලින් කුමාරසිංහ මැතිනියයි. ඇය පිළිබඳ අප වෙසෙසි ව කතා කළ යුතු වන්නේ මහා පුරුෂයෙකුට බිරිඳක් ව සිටි නිසා ම නොවේ. ඇය කළ නිශ්ශබ්ද මෙහෙවර යනු ගුණතිලකගේ ශාස්ත‍්‍රීය අස්වැන්න වූ නිසා ය. දරුවන් ද නොසිටි ඔවුහු මරණයෙන් වෙන් වන තුරු බැඳී විසූහ. රොස්ලින්, රෝස් හෝ R ලෙස ආදර ඇමතුම් ලද ඇය විටෙක මහත් ගෞරවයකින් පිදුම් ලැබුවා ය. එනම් විශ්ව කීර්තියට පත් ‘A Bibliography of Ceylon’ නම් වෙළුම් පංචකයකින් යුතු මහා ග‍්‍රන්ථය පිළිගැන්වී ඇත්තේ ඇය නාමයට වීම ය. පළමු වෙළුමේ මෙසේ ඇත. 

    “මගේ මව්පියන්ගේ මතකයට සහ
    මහත් සෙනෙහසින් හා තවමත් නොසිඳි
    ඉමහත් ගෞරවයෙන් R ට.”

    වෙළුම් අංක 03 මෙසේ කියයි.

    ”විසි වසරක් පුරා මට මාර්ගෝපදේශකයෙකු, මිතුරෙකු හා අධ්‍යාත්ම ගුරුවරයෙකු වූ ශියාලි රාමමිත‍්‍ර රංගනාදන්ගේ (1919-1972) දිදුලන මතකයට සහ නැවතත් ඍට. ග‍්‍රන්ථනාමාවලීකරණයට වඩා නිසැක හා සම්මානිත ක්ෂේත‍්‍රයක අඛණ්ඩ ආදරය, ආත්ම පරිත්‍යාගය, අනවරත ඇසුර ලබා දීම වෙනුවෙනි.”

    වෙළුම් අංක 04 කියා සිටින්නේ මෙබන්දකි.

    ”එසේ ම නැවතත් R ට. මගේ ග‍්‍රන්ථනාමාවලීකාරක වකවානුවටත් වඩා දුක්කරදර හා ගින්දරක් උසුලනු ලබන්නියට – අනවරත ආදරය, විශ්වාසය සහ සුබවාදී හැඟුම් සමගිනි.”

    1997 පේරාදෙණි පුස්තකාලයේ දී ඔහු කළ දිගු දෙසුම තුළ ද මේ අපූර්ව භාර්යාව පැසසීමට ගුණතිලක අමතක නොකළේ ය. “අතීතය යනු වෙනත් දේශයක් බව කෙනෙක් කිව හැකි ය. එහෙත් ඒ අතීතය මා වෙත ලාලසාවක් සේ දිවමන් ව සිටියි. මට සහ මගේ බිරිඳට එය සදාතන මතකයකි. මීට වසර 50කට පෙර මට හමු වී ඉන් වසරකට පසු මා හා විවාහ වූ ගැහැනිය ඇයයි. (සිය විවාහයට වසර 50ක් සපිරි දා ඔවුන්ගේ මතක ස්මාරක සහිත ඉයන්ගේ අතින් ම පිළියෙළ වූ කුඩා ඡුායාරූප ඇල්බමයක විවාහයේ දින වකවානු 1948.03.24 සිට 1998.03.24 ලෙස ඇතුළත් ය.) මා ඇය වෙත දක්වන තියුණු ණයගැතිභාවය දැනවීමට සාමාන්‍ය වචන ප‍්‍රමාණවත් නැත. විවාහ වීමෙන් පසු සතුටින් දිවි ගෙවීමට අවම අවකාශයක් තිබිය හැකි මා වැනි විජිගීෂාපූර්ණ ග‍්‍රන්ථ නාමාවලීකරුවකු හා විවාහ ගිවිස ගැනීම සතුටින් අනුමත කළ ඇයට මම ගරු කරමි.” (Goonetileke – 1997) . රොස්ලින් නම් එකී භාර්යාව ගුණතිලකගේ උදුල දිවිය හා සමඟ පෑහී තිබූ අයුර ඉන්දීය – ලංකා මහ කොමසාරිස් ගෝපාල් ක‍්‍රිෂ්ණ ගාන්ධි විස්තරාත්මක ව සඳහන් කොට තිබුණි. ගුණතිලක යනු ඉංග‍්‍රීසි බස උපන් තැනක් බඳු ව ඉංග‍්‍රීසිය සිය අණසක යටතට ගත් ඉංග‍්‍රීසි භාෂා නෛපුණ්‍යයෙකි. එහෙත් රෝස් ඉංග‍්‍රීසි වදනකුදු කතා නොකළ අයෙකු බව ගාන්ධි කියා සිටියි. ඔවුන්ගේ පෑහීම තිබුණේ බසින්, කුලයෙන් හෝ පන්තියෙන් නොවේ. රොස්ලින්ගේ වියෝව දා  ගෝපාල්  ක‍්‍රිෂ්ණ ගාන්ධි කොළඹට පැමිණියේ ය. ”කුණාටුවකින් ඉදිරී වැටුණු ගසක් සේ මැලවී සිටි ඉයන් මට මෙසේ කී ය. ගෝපාල් ඔබ මෙතැන සිටීම ගැන ස්තුතියි. ඔබ ඇය ව හොඳින් ම දැනගෙන හිටියා… මං කියන්නේ… මං හිතන දේ ඔබ දන්නවා…” යනුවෙනි. (ගාන්ධි 12/06/2003).

    ඉයන් ගුණතිලක ජීවිත කාලයක් පුරා රැස් කළ අනර්ඝ ග‍්‍රන්ථාවලිය අතරත ඇති බොහෝ කෘති ඒ ඒ ලේඛකයන් විසින් අත්සන ද සහිත ව තිළිණ කරන ලද ඒවා ය. එද විශේෂයක් ඇත. ඒ සෑම අත්සනකට ම පෙර ඒ ග‍්‍රන්ථය ඉයන්ට පමණක් නොව රොස්ලින්ට ද බව ඒ කලණ මිතුරු ලේඛකයෝ දන්වා සිටියහ. එක් අතකට ඉයන් – රොස්ලින් යුවළ මෙලෙස දන්වා සිටින්නේ ඒ දෙපළට පමණක් විශේෂ ව තිබූ සංස්කෘතියක් නොවන බව ද පෙනී යයි. ඒ සුප‍්‍රකට ‘පේරාදෙණි දවස්’ (Peradeni days) නම් වූ ලංකා ඉතිහාසයේ අනගි අඩවියේ වාසය කළ, බොහෝ විශිෂ්ට ‘ජෝඩුවලට’ පොදු තත්ත්වයකි.  ගණනාත්-රංජනී, ඈෂ්ලි-බ්‍රිජට්, සිරි-හේමමාලී ආදී එබඳු යුගල පද රැසක් ලිවිය හැකි ව පවතී. මේ බුද්ධි ජීවීන් – මහා පුරුෂයන්ගේ බිරින්දෑවරු එක් අතකට දියුණු සමාජ පන්තියක් ද බඳු ය. එය කුලය, ධනය, උගත්කම හෝ අනුව ගිය එකක් නොව ‘ශිෂ්ටත්වය’ අනුව පැවති මානව සබඳතාවක් බව පෙනී යයි.

    ඉදු – මුදු ගුණෙන් පිරි වෘත්තීය දිවිය

    එච්.ඒ.අයි. ගුණතිලක එක් අතකට ආරෝහ පරිණාහ දේහ විලාස ඇති තෙදැති පුරුෂයෙකි. සුධා ධවල පිළි ඇඳි ඔහු ගන – රවුම් උපැස පැලඳ තියුණු දෑසින් බලන කල ගැලූ පෞරුෂය  අනභිභවනීය බව සුචරිත ගම්ලත් ලියා ඇත. උදෑසනින් පොත්ගුලට වදින ඔහු දිවා ආහාරය පිණිස පිටතට එයි. නැවත අහරින් පසු කාර්යාලයට වන් ඔහු සන්ධ්‍යාවේ හෝ රාත‍්‍රියේ පිට ව යයි. ඉහළ හන්තානයේ කෞතුකාගාරයක් බඳු නිවසට වැදෙන ඔහු ඇතැම් විට මධ්‍යම රාත‍්‍රිය තෙක් වැඩ කර ඇත. දවසේ වෙනත් කිසි ම අවස්ථාවක ඔහු වෙනත් කිසි ම තැනක දී දැකිය නොහැක. උපකුලපතිවර සී.එම්. මද්දුම බණ්ඩාර සඳහන් කළේ ගුණතිලක සිය අසල්වැසියා ව සිටි කාලයේ පවා සාදකතාවකට අවස්ථාව නොලද බවයි.

    1952 සිව්වැනි සහකාර පුස්තකාලයාධිපති ලෙස ගුණතිලක සරසවි ශාස්ත‍්‍රීය වෘත්තිය ආරම්භ කරයි. ”ඊළඟ වසර 27 පුරා මගේ වෘත්තීය දිවියේ අධ්‍යාත්මික කේන්ද්‍රය බවට පේරාදෙණිය පත් විය. මගේ දිවියෙහි අතිශය සඵලදායී, සම්මානිත සහ ප‍්‍රබුද්ධවාදී අඩවිය ලෙස එම වකවානුව සලකමි.” (Goonetileke 1997). ඒ ඔහුගේ ම වදන්වලින් පේරාදෙණිය අර්ථ ගැන්වූ ආකාරයයි. හෙතෙම ඉංග‍්‍රීසි බසින් සිය නාමය ලියන ලද්දේ ‘H. A. I. Goonetileke’ යන ලෙස ය. ගුණතිලක යන්නෙහි අක්ෂර වින්‍යාසය වරදවා ඔහු ලද ලියුම් නැවත හරවා යැවූ බවක් ද අසන්නට ලැබේ. නීතිය, පිළිවෙළ හා පවිත‍්‍රත්වය ඔහු දැඩි ව පැතූ බව එමඟින් පෙනී යයි.

    ඉයන් ගුණතිලක වූකලී ඉතා පෞරුෂවත් වෘත්තිකයෙකි. නිර්භය ව අදහස් හා ස්වමතය පළ කළ ශාස්ත‍්‍රීය පුද්ගලයෙකි. මහාචාර්ය සී.එම්. මද්දුමබණ්ඩාර සඳහන් කරන්නේ විශ්වවිද්‍යාලයීය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයේ දී ගුණතිලක ඉදිරියෙන් ම සිටි බවයි. එසේ ම විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ වෘත්තීය සමිති අරගලයේ ශක්තිමත් නායකත්වයක් විශද කළ සටන් සගයෙකු  බවයි. ගුණතිලකගේ කාර්ය ශූරත්වය සැලකූ විට ඔහු සර්වත‍්‍රවර්තී :්බ මඉසුමසඑදමි* හෙවත් එක විටෙක සෑම තැන ම සිටිය හැකි පුද්ගලයෙකු  බවයි. (Maddumabandara 1997).

    ගුණතිලකගේ 75 වන උපන් දින පේරාදෙණි පොත්ගුලෙහි පැවති මහෝත්සවයේ දී අදහස් දැක්වූ ශාස්ත‍්‍ර පීඨාධිපති මහාචාර්ය කේ.එන්. ඕ. ධර්මදාස සඳහන් කරන්නේ 1959 දී තමා සරසවියට පිවිසි දා පටන් ගුණතිලක තමාට වැඩිහිටි සගයෙකු, මිතුරෙකු හා ගුරුවරයෙකු ව පැවති බවයි. ගුණතිලකගේ ප‍්‍රාණසම මිතුරු කලාගුරු ජෝර්ජ් කීට්, ඉයන් වෙනුවෙන් ලියූ ”පිවිසුම් දොරටුවක දිදුලන නිපුණයා” (Bright Master of Revelation) නම් අගනා පද්‍ය සම්පූර්ණයෙන් උද්ධෘත කරන ධර්මදාස එහි අවසන් වදන අවධාරණය කරයි. ගුණතිලක හැඳින්වීමට එයට වඩා, උචිත වෙන වදනක් නැති බව කියා සිටියි. එනම් “දිදුලන නිධිය හෙවත් දීප්තිමත් කෝෂ්ඨාගාරය” (glittering repository) යන දෙවදනයි. (Dharmadasa 1997).

    යථෝක්ත උත්සවයේ  සමාප්ති  දේශනය  කළ  මහාචාර්ය ඈෂ්ලි හල්පේ, ගුණතිලකගේ ශාස්ත‍්‍රීය උරුමය ඔවුන් ව පෝෂණය   කළ අයුර නිර්ලෝභී ව  අගයා  ඇත.  මේ  ශ්‍රේෂ්ඨයාගේ අධ්‍යාත්ම  හා භෞතික ස්වරූපය නිදන් කරමින් ස්ටැන්ලි කිරින්දේ ඇඳි ඉයන්ගේ ආලේඛ සිතුවම හල්පේගේ නොමඳ පැසසුමට බඳුන් වෙයි. මේ සිතුවම පුස්තකාලයේ කියවීම් ශාලාවට මහත් අබිමන් ස්වරූපයක් දායාද කර ඇත. 2009-2013 සිව්වසර තුළ මගේ ආචාර්ය උපාධි පර්යේෂණ වකවානුවේ සම්පූර්ණ කාලය මා පොත්ගුලෙහි ගත කළේ මේ සිතුවම පෙනෙන සේ අසුන් ගෙන බව සටහන් කළ යුතු ය. පරිසමාප්ත ශාස්ත‍්‍රවන්තයෙකු වූ ඔහුගේ රුව මට නම් දෛනික ශක්තිය ගලා ආ නොනිමි ඌලක් බඳු ය. 

    ඇසුරු කිරීමට හා ඇසුර මගින් පරිපෝෂණය ලැබීමට එබඳු ජ්‍යෙෂ්ඨයන් හා ශ්‍රේෂ්ඨයන් නැතිකමෙහි අර්බුදය අද වන විට ලාංකේය ශාස්ත‍්‍රීය ලෝකය සොලවා දමන තරම් මෝරා ගොස් ඇත. සබරගමු සරසවි ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති මනෝරංජන් රත්නායක වරක් මේ පශ්චාත්තාපය මා සමග කම්පනයෙන් යුතු ව සඳහන් කළේ ය. ගුණතිලක යනු උරගලක් බඳු වෘත්තිකයෙකි. එහි දැවටී, ගැටී පන්නරය හා ආලෝකය ලැබීමට විශාල පිරිසක් දෛනික ව ඔහු කරා ආහ. විටෙක බුද්ධි ජීවීන්ගේ ශාස්ත‍්‍ර සාපවස නිවූ සිහිල් පැන් පොකුණක් වන්  ගුණතිලකයන්  කරා  නොපැමිණි ශාස්ත‍්‍ර සංචාරිකයෙකුු නොමැති තරම් ය. හෙතෙම සිව්දිග සඟණ ගිම් නිවූ – බවුන් වැඩූ එකලා ගල්ලෙනක් බඳු ය. තමා කරා ආ කවර වර්ගයේ ශාස්ත‍්‍ර සංචාරිකයෙකුට වුව නොවෙනස් ව සෙවණ දුන් බව පෙනී යයි. එතැන දී සිය මෙහෙය කළා විනා ප‍්‍රතිචාර නොපැතූ බව හොඳින් ම ප‍්‍රත්‍යක්ෂ වෙයි.

    ඉයන් ගුණතිලකයන්ගේ ග‍්‍රන්ථ සඳහා පෙරවදන් සංග‍්‍රහ කළ, විද්වතුන් තද් රචනාවල ගුණතිලකගේ වජ‍්‍ර බුද්ධිය පුළුල් ව අගයා ඇත. ඉංග‍්‍රීසි පිළිබඳ මහාචාර්ය ඊ.එෆ්.සී. ලූඩොවොයික්, පුස්තකාලයීය විද්‍යා අධ්‍යයන පිළිබඳ මහාචාර්ය ජේ.ඞී. පියර්සන්, මහාචාර්ය රේමන්ඞ් අර්වින්, පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතාන හා ලංකා-ඇමරිකා තානාපති ක‍්‍රිස්ටෝපර් වැන් හොලන් ඒ අතර වෙති. “ඇමරිකානු ඇසින් ශ‍්‍රී ලංකාවෙහි පිළිබිඹු” නම් ග‍්‍රන්ථයට මුවදොර වදන ලියන තානාපති වැන් හොලන්, ගුණතිලක මේ දිවයිනෙහි වඩාත් උත්තම පුස්තකාලයාධිපතිවරයා බව කියා සිටියි. උදාර අධ්‍යාත්මයක්, පෘථුල ව පැතිරි සාහිත්‍ය කලා අභිරුචියක් සහිත ව විශිෂ්ට ග‍්‍රන්ථ අභිසම්භාවනා කළ අයෙකු ලෙස ගුණතිලක ව පසසා ඇත. ඔහුගේ ලිපි රැුසක් කියවා විමතියට පැමිණි හෙතෙම ගුණතිලකයන් මුණ ගැසීමට තද ආශා ඇති ව සිටි බව හෙළි කරයි. (Van Hollen – 1975). 

    ඉයන් ගුණතිලකගේ  ඕනෑ ම ලිපියක්, ග‍්‍රන්ථයක් හෝ දේශනයක් පරිශීලනය කරන්නා සාක්ෂාත් කරන කතුවරයාට ම අනන්‍ය ලක්ෂණ අතර එක් කරුණක් අපේ වෙසෙසි අවධානය ලැබිය යුතු ය. එනම් විශ්ව සාහිත්‍යයේ චිර සම්භාවිත කවීන්, චින්තකයන්, ලේඛකයන් හෝ දාර්ශනිකයන්ගේ උද්ධෘත සුදුසු වූ පරිදි උපුටා රැගෙන සිය කෘති පෝෂණය කිරීමයි. ඉන් එක්වර ම විශද වන කරුණක් නම් ඔහුගේ විශ්ව සාහිත්‍ය ආශ‍්‍රය සිතා ගැනීමට හෝ නොහැකි තරම් ආඪ්‍ය එකක් වීමයි. එසේ උපුටා දැක්වීමට ඔහුට තිබූ පෙලඹවීම දැඩි විජිගීෂාවක් තෙක් වර්ධනය වූවකි. විශිෂ්ටයෙකු උද්ධෘත නොකර ඔහුට පේළි කිහිපයක් හෝ ලිවිය නොහැක්කා සේ ය. ඒ ඒ මොහොතට සුදුසු – ලොව ප‍්‍රශස්ත ම උද්ධෘතය සැණෙකින් මතකයට ආවේ වෙනත් කිසිදු හේතුවක් නිසා නොව ඔහු විශ්ව සාහිත්‍යය පරිහරණය කළ අප‍්‍රමාණ ස්වභාවය හා එය ජීවන පුරුද්දක් – චරිත ඵලයක් තෙක් වර්ධනය කර ගැනීම නිසා ය. තාක්ෂණය හා පරිගණක තිරය එක ම හව්හරණ කරගත් නවීන සමාජයට ගුණතිලකගෙන් ලද හැකි ආභාසයකි මේ ගුණය. ජෙෆ්රි චෝසර්, ඩබ්.බී. කීට්ස්, ටී.එස්. එලියට්, ජෝන් ඩ‍්‍රයිඩන්, එඞ්වඞ් තෝමස්, ආනන්ද කුමාරස්වාමි, විලියම් කාලෝස් විලියම්ස්, ප්ලේටෝ, ඇලෙක්සැන්ඩර් පෝප්, සැමුවෙල් පර්චාස්, හෙන්රි ජේම්ස් සහ වින්ස්ටන් චර්චිල් යනු ඔහුගේ උද්ධෘත සත්කාරය ලද අතළොස්සක් ධීමත්තු වෙති. 

    ඔහුගේ උද්ධෘතකරණ ව්‍යාපාරයේ ඖචිත්‍යය කෙතරම් විස්මිත ද යන්නට එක් නිදසුනක් පමණක් ගෙන එමි. ‘The  April 1971 Insurrection in Ceylon: A Bibliographical Commentary’ නම් ලේඛනය තුළ 71 කැරැල්ල සම්බන්ධ සකල විධ සාක්ෂ්‍ය ලේඛන සංගෘහිත ය. ඔහු එය අරඹන්නේ ‘Wasteland’ හෙවත් ‘මුඩුබිම’ නම් කාව්‍යයේ , ‘April is the most cruellest  month of the year’ යන වැකියෙනි. අප්‍රේල් වූකලී වසරේ කුරිරුතම මාසය වූයේ, 1971 අප්‍රේල් 05 සිදු වූ එම අරගලයේ ලේ – කඳුළු ගැන ඔහුගේ සවිඥානිකත්වයට ද දෙස් දෙමිනි. 

    ඔහු ගැන යමක් ලියැවිණි නම් ඒ 2003 වසරේ සිදු වූ ඔහුගේ අභාවයෙන් පසු යැයි කීම අසාධාරණ නැත. එම පුවත්පත් ලිපිවල සිරස්තල කිහිපයක් පමණක් මෙහිලා ඉදිරිපත් කරන්නෙමු.

    “එච්. ඒ. අයි. ගුණතිලක – තමන් ඉස්මතු නොවූ සාහිත්‍ය දැවැන්තයා” (H. A. I. Goonetileke – The Unobtrusive Literary Great) by Tilak A. Gunawardhana, The Island, 2003/05/30.

    “ඉයන්ගේ රිච්මන්ඞ් අවධිය : විශේෂඥයෙකුගේ සිට පොත්ගුල්ලෙකු දක්වා” (Ian’s Richmond days: from egghead to bookworm) by J. H. L., The Sunday Times, 2003/08/24.

    “ඔවුහු ඔහුට ශ‍්‍රී ලාංකේය විශ්වකෝෂය යැයි කියූහ.” (They called him ‘Encyclopaedia Zeylanica’) by Richard Boyle, The Sunday Times, 2003/06/08.

    “ආචාර්ය එච්.ඒ.අයි. ගුණතිලක : නොනිමි ගමන්” (Dr. H. A. I. Goonetileke: Unfinished Journeys) by Gamini Senevirathne, Sunday Island, 2003/06/29.  

    “ඉයන් ගුණතිලක – සහස් තේමාහි බලපරාක‍්‍රමයක්” (Ian Goonetileke – an authority on a thousand themes) by Gopalkrishna Gandhi, Daily News, 2003/06/12. 

    “ගෞරවණීය ඉයන්ගේ පේරාදෙණි අමිල තිළිණය” (Honour Ian’s precious gift to Peradeniya) by Ashely Halpe, The Sunday Times, 2003/07/20.

    “ඉයන් ගුණතිලක – ශාස්ත‍්‍රීය වෘත්තියේ වීරයා” (Ian Goonetileke – Hero of the Academic Vocation) by Carl Muller, The Island, 2004/05/18.

    “එච්. ඒ. අයි. ගුණතිලක – ස්වකීය ජීවිත කාලය තුළ ම පුරාවෘත්තයක්” (H. A. I. Goonetileke – Legend in his lifetime) by Tissa Jayatilake, The Island, 2004/06/15.

    මේ රමණීය සිරස්තල සහිත ගැඹුරු ලිපි සියල්ල ඔහුගේ යුගයේ මිතුරන්ගෙනි. නව පරපුරෙන් ඔහු පිළිබඳ ලියුවේ ඇතැම් විට මාලින්ද සෙනෙවිරත්න පමණක් විය හැකි ය. (The Island, 2003/05/25). ලංකාවේ ආදිවාසීන් පිළිබඳ ව රචිත ග‍්‍රන්ථ නාම සංග‍්‍රහ කොට අණුක‍්‍රමණිකාවක් සැකසූ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා සහ චින්තක රණසිංහ සිය බුද්ධිමය ශ‍්‍රමය සමර්පණය කළේ එකී විෂයෙහි සිරිලක මුදුන්මිණ වූ ඉයන් ගුණතිලක නාමයට ය. මීට අමතර ව රිචඞ් බොයිල්, ආචාර්ය කුමාරි ජයවර්ධන ආදී පර්යේෂකයන් ස්වකීය ග‍්‍රන්ථවල තුති සටහන්හි ගුණතිලකයන්ට මුව නොසෑහෙන සේ කෘතඥ වී ඇත. තද් ග‍්‍රන්ථ බිහි කෙරුමට ලද මාර්ගෝපදේශ එපමණට ම අමිල බව ඔවුහු කියා ඇත්තාහ.

    ඉයන් ගුණතිලක ග‍්‍රන්ථ සංචිතය

    ආචාර්ය ඉයන් ගුණතිලක ජීවිත කාලයක් පුරා රැස් කළ අනර්ඝ ග‍්‍රන්ථ සම්භාරය දැන් පේරාදෙණි සුවිසල් පුස්තකාලයේ ඉහළ මාලයක විශේෂ කාමරයක තැන්පත් කර ඇත. තමා ජීවත් කළ ශ්‍රේෂ්ඨයාගේ ස්පර්ශයෙන් වියෝ ව වුව ද එය පතා යන පර්යේෂකයන්ගේ මනදොළ සපුරමින් එගත්හු අපේක්ෂාභරිත ව වසති. එහෙත් කේ. එන්. ඕ. ධර්මදාස, ලෙස්ලි ගුණවර්ධන ආදීන්ගෙන් දුරස්ථ වූ පේරාදෙණියේ දැන් එගත් පතනුයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති හෝ අප බාල පරපුරේ තියුණු ම පර්යේෂකයෙකු වන ශාස්ත‍්‍රපති බුද්ධික කෝණාර වැනි අයෙකු පමණි. බලකොටුවක් තුළ වන බලකොටුවක් බඳු මේ ග‍්‍රන්ථාර්ණවය ගැන මඳක් හෝ තත්පර විය යුතු ය.

    ග‍්‍රන්ථ 4000කින් පමණ සමන්විත මේ පෞද්ගලික ග‍්‍රන්ථ සංචිතය පරිහරණය පහසු කළ වටිනා යතුරක් ඇත. එනම් ඉයන් නම් පූර්ව විශිෂ්ටයා ගත් මග ම ගත් නිහඬ – කැප වූ වෘත්තිකයෙකු වූ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපතිවරයෙකු වූ ඒ.ටී. අල්විස් මහතා සැකසූ ග‍්‍රන්ථනාමාවලියයි. (A Bibliography of H. A. I. Goonetileke Collection, by A.T. Alwis, 2007). ඉයන් ගුණතිලකයන්ගේ කාර්යාල කාමරය තිබූ බිම්මහලේ ම කාර්යාලයක පොත්පත් වට කරගෙන සිටි අල්විස් මහතාගේ අපමණ සේවය මගේ පශ්චාත් උපාධි දිවියට අත්වැලක් විණ. 

    ‘The 1956 Generation: After and Before’ යනුවෙන් 1981 දී ආචාර්ය මයිකල් රොබට්ස් විසින් කරන ලද ජී. සී.මෙන්ඩිස් සමරු දෙසුම නම් වූ දුලබ ලේඛනය මට සැණෙකින් සොයා දුන් අල්විස් මහතාගේ වෘත්තීය නෛපුණ්‍යය මට සිහි කළේ ගුණතිලකයන්ගේ විස්මිත භාවිතය ම ය.

    මෙම ග‍්‍රන්ථ සමූහය අතිශය විරල හා අමිල බව කීම කිරෙහි සුද අමුතුවෙන් කීමක් බඳු ය. එම ග‍්‍රන්ථාවලියෙන් බොහොමයක් කෘති මෙරට සහ විදේශීය ලේඛකයන් සිය අත්සන ද කෙටි සටහනක් ද සහිත ව තිළිණ කළ අතිශය දුලබ කෘති ය. අනෙක් අතට ගුණතිලකගේ රුචිය ද දුලබ ය. ඒ දුලබ රුචිය අනුව රැස් වන්නේ අනිච්ඡුානුග ව ම දුලබ ලේඛනයන් ය. පැරණි දූලි ගන්ධය ද ග‍්‍රන්ථ පැරණි වන විට එම දිරා යාමට ම අයත් විශේෂ ගන්ධය ද පෞද්ගලික ව මා නම් පොත්ගුල් වෙත ඇද බැඳ තබන්නකි. එකී ‘සුගන්ධය’ මෙහි අනූන ය. එය පොළොව යට වූ ඉතා පෞරාණික පවුරු පදනමක් බඳු සංගෘහිතයකි. කණින විට මිණි මුතු වන් දේ සම්මුඛ වේ. වරෙක එය දැයට දියවර දුන් විභූතිමත් බිසෝකොටුවක් පාදා ගැනීමක් වැනි ය.

    විදේශීය ලේඛකයන් හැරුණු විට ලාංකික උසස් ලේඛක පරපුරක් ලියූ ග‍්‍රන්ථ රැසක් මෙතැන නිදන් ව ඇත. කේ.එම්. ද සිල්වා, අමරදාස ලියනගමගේ, නලින් ස්වාරිස්, ගණනාත් සහ රංජනී ඔබේසේකර, සුසුනාග වීරපෙරුම, මයිකල් ඔන්ඩාට්ජි, ඒ.ඞී.වී. ද එස්. ඉන්ද්‍රරත්න, මයිකල් රොබට්ස්, නීලන් තිරුචෙල්වම්, ජී.එච්. පීරිස්, ඇම්.බී. ආරියපාල, රත්නා හන්ඳුරුකන්ද, රැල්ෆ් පීරිස්, පී. ඊ. පී. දැරණියගල, එස්. බී. ඞී. ද සිල්වා, වල්පොල රාහුල හිමි, ඊ.ඩබ්. අධිකාරම්, ආනන්ද කුමාරස්වාමි, එස්.ටී.ජේ. තම්බයියා, එච්. එල්. සෙනෙවිරත්න, ලෙස්ලි ගුණවර්ධන, කුමාරි ජයවර්ධන, තිස්ස ජයතිලක ආදීහු ඉන් මඳ පිරිසක් වෙති. මේ අය සිය අත්සන සහිත ව තිළිණ කළ මුල් කෘති බොහෝ විට එගත්හි ප‍්‍රථම මුද්‍රණයට අයත් ය. ඇතැම් කෘති නැවත මුද්‍රණය නොවූ බව ස්ථිර ලෙස ම පෙනී යයි. එසේ ම සත්මහල් වූ ප‍්‍රධාන පුස්තකාලයේ ලක්ෂ සංඛ්‍යාත පොත් අතර නැති ඇතැම් පොත් මා සොයා ගත්තේ මෙම විශේෂ එකතුවෙනි. ලෝක සිනමාවට අයත් පොත් ඊට නිදසුනි.

    කතුවරුන් මේ පොත් තිළිණ කළේ ඉයන්ට පමණක් නොවේ. විස්මිත බිරිය වූ රොස්ලින්ට ද එකී ත්‍යාග අයත් ය. තිළිණය සමග බොහෝ කතුවරු ඉයන් ගුණතිලක තමා මත බලපෑ අයුරු ප‍්‍රබල සංක්ෂිප්ත  වදනකින් කියති.  එම  සටහන්  ද ඉයන් පිළිබඳ ලියැවුණු ලිපි වැනි ය. පොත්ගුල්ගත ගුප්ත දිවියක් ගෙවූව ද ඇසුරු කර ඇති පිරිස සුළුපටු නැති බව මේ ස්මරණ සටහන් සාක්ෂ්‍ය සපයයි. ඒ ඇසුරෙහි තාරතාව ද සුළුපටු නැත. ඒ සටහන් ම ඊට ද සාක්ෂ්‍යයෝ වෙති.

    ග‍්‍රන්ථ රැස් කිරීමට අමතර ව ග‍්‍රන්ථ හා ලිපි ප‍්‍රතිසංස්කරණය කිරීම, පිළියම් කිරීම ද ඔහු අඛණ්ඩ ව කර ඇත. දුර්වර්ණ වී, පලූදු වී, ඉරී ඇති පොත් පිටකවර සියතින් ම පිළිසකර කර සිය අත්අකුරින් ම ග‍්‍රන්ථයේ මූලික තොරතුරු ලියා තැබීම බොහෝ විට කර ඇත. ඒ බොහෝ ග‍්‍රන්ථ පෙරළා බලන්නා මහත් ඵල ලබති. එහි අඩංගු වන්නේ ග‍්‍රන්ථයේ පිටු හෝ අන්තර්ගතය පමණක් නොවේ. එකී ග‍්‍රන්ථය දොරට වඩින දා ඇරයුම්පත, ලේඛකයා හා හුවමාරු වූ ලිපි, ලේඛකයාට හෝ ඒ ග‍්‍රන්ථයට අයත් ඡුායාරූප, එකී ග‍්‍රන්ථය ගැන පළ වූ විචාර ඇතුළු පුවත්පත් සඟරා ලිපි, එකී ග‍්‍රන්ථය පිළිබඳ ගුණතිලකයන් ම ලියූ පළ වූ හෝ පළ නොවූ ලිපි, පිටු අතර ඔහු තැබූ පෞද්ගලික සටහන්, ලේඛකයාට අයත් මුද්දර හෝ මුල් දින කවර ඇතුළු සම්පත් සම්භාරයක් ඒ අතර ඇත. එවිට ග‍්‍රන්ථය හා අතිරේක තොරතුරු සම්භාරය රන් අබරණක එබ්බවූ නිල් මිණක් සේ අගී ය. හොබනේ ය.

    ඡුායාරූප ඇල්බම් කිහිපයක් මෙම එකතුවට අයත් ය. ඒ ඡුායාරූප සියල්ල ගුණතිලක විසින් ම ගන්නා ලද බව පැහැදිලි ය. ඒවාට තබා ඇති නම් සහ ඇතුළත ඇති විවරණ ඔහුගේ අභිරුචිය කියාපායි. ඇල්බම් හතරක නාමයන් මෙසේ ය.

       1. Nature is a Blessing
       2. Beauty of Nature 1, 2, 3
       3. Humans at work
           4. Places of worship

    ඉතා ම දුර්ලභ ග‍්‍රැමර්ෆෝන් තැටි රැසකි. ‘කිරිකවඩි, හුණුවටයේ කතාව’, ‘Jimmy witherspooon’, ‘Joan Baez in concert, Together: Julien Bream and John Williams’ යනු ඉන් කිහිපයකි. චිත‍්‍ර කලා විෂයට සම්බන්ධ ග‍්‍රන්ථ රැුසක් එක තැනෙක ඇත්නම් ඒ මේ ය. වැන්ගෝ, පිකාසෝ, මැතීසෙ, එඞ්වඞ් ලියර්, ජෝර්ජ් ක්ලැයර්සන්  පිළිබඳ  ලියැවුණු  විරල ග‍්‍රන්ථ සංචිතයකි එය. පිකාසෝ හා වැන්ගෝ පිළිබඳ විචාර හා විග‍්‍රහ සම්භාරය කිනම් දියුණු අන්තර්ජාලයක් හෝ අනාථ කරනු නිසැක ය.

    ඒ.ටී. අල්විස්ගේ වර්ගීකරණය පසෙක ලා මවිසින් කරන ලද විෂය සූචිය මෙපරිදි ය. පහත සඳහන් තේමාවලට අදාළ බොහෝ සම්පත් ඔබට මේ සුවිශේෂ කාමරයේ දී හමුවනු ඇත.

                1. නවකතා
                2. කෙටිකතා
                3. කාව්‍ය
                4. සිනමාව
               5. සංගීතය
                6. චිත‍්‍ර කලාව
               7. සංචාරක
                8. ඡායාරූප
                9. චිත‍්‍ර
            10. ඉතිහාසය හා පුරාවිද්‍යාව
             11. නාට්‍ය
              12. ශ‍්‍රී ලංකාව පිළිබඳ
              13. ලෝකයේ කලා ඉතිහාසය
          14. විචාර
              15. පුස්තකාලයීය විද්‍යාව
              16. පුස්තකාලයාධිකාරිත්වය
             17. කොමිෂන් සභා වාර්තා

    ග‍්‍රන්ථනාමාවලීකරණය නොහොත් අග්‍රේසර කෘත්‍යය

    Bibliography or Magnum Opus

    ඉයන් ගුණතිලක යනු ග‍්‍රන්ථනාමාවලීකරණයට පවසන තවත් නාමයක් බඳු ය. එපමණට ම අන්තර්බද්ධ ය. ඓන්ද්‍රීය ය. ග‍්‍රන්ථනාමාවලී වියරණයට විවෘත වුණු මනසක් සහිත ව සෑම නිමේෂයක් ම ගෙවී ගිය බවට සාක්ෂ්‍ය එමට ය. පුංචි ම පුංචි හදිසි සටහනක පවා කතෘ, වසර, පිටු අංක සහිත සියලූ ම වැදගත් තොරතුරු පමණක් නොව කොමාව, තිත, තිත් කොමාව සහිත සම්මත ආකෘතිය ද නොබිඳ එම ලූහුඬු සටහන පවා තැබීම විමතිය ඵලවයි.

    ‘A Bibliography of Ceylon’ නම් වෙළුම් පංචකයකින් සමුපේත පිටු දෙදහස් ගණනක ග‍්‍රන්ථ රත්නය ඉයන් ගුණතිලකයන්ගේ අග්‍රේසර කෘත්‍යය බවට විවාද නැත. එහි ප‍්‍රථම වෙළුමෙහි ප‍්‍රස්තාවනාව ලියූ ලන්ඩන් සරසවියේ ආසියා-අප‍්‍රිකා ප‍්‍රාචීන අධ්‍යයන කේන්ද්‍රයේ ප‍්‍රකට විද්වතෙකු වන මහාචාර්ය ජේ.ඞී. පියර්සන් සඳහන් කළේ ගුණතිලක මෙතෙක් ශ‍්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ටතම ග‍්‍රන්ථනාමාවලීකරුවා බව ය. 1969 තැබූ ඒ සටහන අදට ද අනභියෝගී ය. එපමණක් ද නොව මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ප‍්‍රාචීන ග‍්‍රන්ථනාමාවලීකරුවන් අතරට ද ඔහුගේ නාමය එක් වන බව (The greatest orientalist bibliographers in all time) නිබය ව පැවසීමට පියර්සන් නිර්ලෝභී වෙයි. ඇගයුම් දෙසුමක දී කේ.එන්. ඕ. ධර්මදාස විද්වතුන් කිහිප දෙනෙකු එනම්, මයිකල් ඒම්ස්, බී.එච්. ෆාමර්, කැල්වින් ඒ. වුඩ්වර්ඩ් වැනි අය යථෝක්ත ග‍්‍රන්ථය පිළිබඳ දැරූ අදහස් උද්ධෘත කර ඇත. කිසි ම වැදගත් පර්යේෂකයෙකුට ලංකාව පිළිබඳ කරන පර්යේෂණයක දී එම කෘතිය මග හැර යා නොහැකි බව ඔවුන්ගේ අදහසයි. (Dharmadasa 1997).

    මේ සෑම වෙළුමකට ම ඉතා දිගු පෙරවදන් සපයා පාඨක පහසුව ඇති කර ඇත. ලංකාවේ, ඇමරිකාවේ, ජර්මනියේ සහ එංගලන්තයේ පමණක් මේ ග‍්‍රන්ථ පර්යේෂණය සඳහා ඔහු භාවිත කර ඇති පුස්තකාලයන් රාශියේ නාම ලේඛනය විමසන විට ඔහුගේ ධෛර්යය හා ඉවසීම, කැපවීම කෙබඳු ද යන්න සිතා ගත හැකි ය. ලංකාවට අදාළ ව විෂය ඒකක 30ක් වෙනුවෙන් සංගෘහිත ලක්ෂ සංඛ්‍යාත ග‍්‍රන්ථ නාම ප‍්‍රමාණයක් මේ වෙළුම් පහ තුළ අන්තර්ගත ය. එසේ ම සිය කෘතියේ නිරවද්‍යතාව හා යාවත්කාලීනබව පිළිබඳ ඔහු නිරතුරු උනන්දු වූ බව පෙනී යයි. ඒ සඳහා ප‍්‍රශස්ත නිදර්ශනයක් නම් සචී ශ‍්‍රීකාන්ත නම් පර්යේෂකයා යථෝක්ත ග‍්‍රන්ථය ගෞරව බහුමානයෙන් සිහි කර එහි එක් ග‍්‍රන්ථයක වර්ගීකරණ දෝෂයක් ලිපියකින් පෙන්වා දුන් විට එය පිළිගෙන ඊළඟ සංස්කරණයේ දී නිවැරදි කරන බවට දුන් ප‍්‍රතිඥාවයි. (Srikantha 14/07/2013).

    මෙම චිරප‍්‍රකට ග‍්‍රන්ථනාමාවලියට අමතර ව ඔහු විසින් සංගෘහිත අතිරේක ග‍්‍රන්ථ නාමාවලී රැසකි. ඇතැම් ඒවා සුවිශේෂ ගණවලට අයත් වේ. මාර්ග බඳු ආයතනවලට කළ එබඳු ලේඛන ඔහුගේ කාර්ය භාරයට අයත් ලැයිස්තුවල නොතිබීමට ද පුළුවන.

    නිදර්ශන : ( Cattle Breeding in Sri Lanka: A  Preliminary Bibliography (1980).

    1971 තරුණ කැරැල්ල පිළිබඳ ග‍්‍රන්ථනාමාවලිය සුවිශේෂ ප‍්‍රවර්ගයකට අයත් බව පෙනී යයි. එය විචාර, විවරණ හා සාක්ෂ්‍ය ද ඇතුළත් විස්තීර්ණ නාමාවලියකි. ජනතා විමුක්ති පෙරමුණ හා අරගලයට සම්බන්ධ කවි, ලිපි, දැන්වීම්, සමරු, කැරලිකරුවන් සම්බන්ධ ඡුායාරූප, චිත‍්‍ර, කැරැල්ලේ ඡුායාරූප, කැරලිකරුවන්ට අයත් ඇඳුම් හෝ භාවිත කළ පරිභෝග භාණ්ඩවල සාක්ෂ්‍ය ඇතුළත් දුලබ ප‍්‍රවර්ගයක ශාස්ත‍්‍රීය සම්ප‍්‍රදානයක් ලෙස එය හැඳින්විය යුතු ය. එපමණක් නොව පොත්පත් රැුගෙන සිරගත කැරලිකරුවන් බැලීමට ද හෙතෙම ගිය බව කියැවේ. වාමාංශික දේශපාලන දැක්මක් තිබූ ගුණතිලක ඓන්ද්‍රීය බුද්ධිමතෙකු වන්නේ ඔහුගේ න්‍යාය හා භාවිතය පරස්පරයකින් තොර නිර්ව්‍යාජ එකක් බව පෙනී යන බැවිනි. සිය මාධ්‍යය හෝ ක්ෂේත‍්‍රය දැනුමෙන්, රමණීයත්වයෙන් හා දෘෂ්ටියෙන් පෝෂණය කළ ආදර්ශරූපී ජීවන විලාසයක් ලෙස ඔහුගේ දිවිය විඥාපනය කිරීමට බාධා නැත.

    ‘The Road to Peradeniya : An Autobiography’ නම් ශ‍්‍රීමත් අයිවර් ජෙනින්ග්ස්ගේ ස්වයංලිඛිත චරිතාපදානය වූකලී ගුණතිලකගේ තවත් සුප‍්‍රකට දායාදයකි. එය සංස්කරණය කළ හැක්කේ ඔහුට ම පමණි කීම කිකලෙක හෝ අතිශයෝක්තියක් නොවේ. ජෙනින්ග්ස් ඇසුරු කළ, සිතැඟියා දත් ප‍්‍රාමාණිකයන් අතර ගුණතිලක ඉදිරියෙන් ම සිටියි. මේ චරිතාපදානයට ගුණතිලක ලියා ඇති දීර්ඝ පෙරවදන කෘතිය පිළිබඳ මහඟු විවරණයකි. කෘතියෙන් මග හැරුණු දේ පූරණය කරන සුළු සංග‍්‍රහයකි. සිරිලක සරසවි අධ්‍යාපනයේ උප්පැන්නය බඳු මේ කෘතිය ලංකාවට තදින් පෙම් කළ බටහිර වැසියෙකුගේ අදීන චින්තනය, නීතිගරුක බව, නිවට නොවූ නිබය දැක්ම, සැලසුම්කරණය, දූරදර්ශනය ආදී බොහෝ තතු හෙළි කරන්නකි.

    සමාලෝචනය

    ආචාර්ය ඉයන් ගුණතිලක නම් ශ‍්‍රී ලංකාවේ පහළ වූ අග‍්‍රගණ්‍ය ශාස්ත‍්‍රීය පුස්තකාලයාධිකාරීවරයා පිළිබඳ අසම්පූර්ණ විවරණයක් ලෙස මේ රචනාව හැඳින්වීම යෝග්‍ය ය. මක්නිසා ද ඔහුගේ විශිෂ්ටත්වය හා අතිශය පුළුල් කාර්ය භාරය පිළිබඳ අපගෙන් ගිලිහුණු දේ තිබිය හැකි බැවිනි. දැඩි අල්පේච්ඡු දිවියක් ගෙවූ හෙතෙම 81 වන වියේ දී දිවියෙන් සමුගති. එය එක් අතකට සංචාරික බෞද්ධ තෙරවරයෙකුගේ තපස්වී දිවිය සිහි ගන්වයි. රැස් කළ පොතපතින් පවා නිදහස් වී පහනක් නිවෙන්නාක් මෙන් නිවී ගිය මිනිසෙකි. මළගම පවා ගෙවූ දිවියට ම දෙස් දුන් සරල – අප‍්‍රකට එකකි. පෞද්ගලික ව සැලකුවහොත් මගේ දිවියේ අල්ප වූ පරමාදර්ශ අතර ඉයන් ගුණතිලක නාමය ආදර්ශරූපී ජීවන පිළිරුව සේ ලැගුම් ගන්නා බව ද කිව මනා ය.

    ඔරුවල මහජන මාවතට ගියෙමු.

    ඉයන් ගුණතිලකයන්ගේ ඥතීන් හෝ බාරකරුවන් සෙවීමක පසුගිය මාස කිහිපයක නිරත වූ මම අවසන ඔවුන් සොයා ගතිමි. ඒ ගුණතිලකයන්ගේ හා රොස්ලින් මැතිනියගේ ඥති දියණියගේ නිවසයි. ස්වර්ණා මහත්මිය 1978/79 වකවානුවේ පේරාදෙණි මහප්පා සෙවණේ සිටි අතර අවසන් භාගයේ ගුණතිලකයන් මිය යන තුරු ම ස්වර්ණා මහත්මිය සිය ශ්‍රේෂ්ඨ වැඩිිහිටියා බලා-හදා ගත්තා ය. ස්වර්ණා මහත්මිය හා ඇගේ දියණිය ඉෂංකා දිල්හානි ද සිය ඥති උරුමයේ ස්මරණ ප‍්‍රාණ සම ව සුරකිති. ඒ මනා උවටැනට අපි දු ඔවුනට හිස නමමු.

    විශේෂ ස්තුතිය

    ශාස්ත‍්‍රපති බුද්ධික කෝණාර මහත්මාට.
    පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති අජන්ත ධර්මරත්න මහත්මාට.
    ශ‍්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති මනෝරංජන් රත්නායක මහත්මාට.
    පේරාදෙණිය, සබරගමුව සරසවි පොත්ගුල්හි සේවයේ නියුතු හේරත්, මාලනී, දුදුලා, පද්මා ඇතුළු පුස්තකාලයීය කාර්ය මණ්ඩලයට හා ඡුායා පිටපත් අංශවලට.

    2016/12/19

    An Incomplete Bibliography of an Absolute Bibliographer

    Goonetileke HAI

    1975, “Robert Knox in the Kandyan Kingdom 1660-1679, A Bio-Bibliographical Commentary”, Sri Lanka Journal of the Humanities, Vol. 1, No 2, University of Peradeniya.

    1983, Introduction to a Historical Relation in Island Ceylon in the East Indies, New Delhi, Navrang.

    1989, “Addendum” to “Robert Knox in the Kandyan Kingdom 1660-1679, A Bio-Bibliographical Commentary”, Sri Lanka Journal of the Humanities, Vols. Xxiv and xxv, No. 1 and 2.

    1970, A Bibliography of Ceylon: A Systematic Guide to the Literature on the Land, People, History and Culture Published in Western Languages from the Sixteenth Century to the Present day, Switzerland, Inter Documentation Company, Vol. 1.

    1970, A Bibliography of Ceylon: A Systematic Guide to the Literature on the Land, People, History and Culture Published in Western Languages from the Sixteenth Century to the Present day, Switzerland, Inter Documentation Company, Vol. 2.

    1976, A Bibliography of Ceylon: A Systematic Guide to the Literature on the Land, People, History and Culture Published in Western Languages from the Sixteenth Century to the Present day, Switzerland, Inter Documentation Company, Vol. 3.

    1983, A Bibliography of Ceylon: A Systematic Guide to the Literature on the Land, People, History and Culture Published in Western Languages from the Sixteenth Century to the Present day, Switzerland, Inter Documentation Company, Vol. 4.

    1983, A Bibliography of Ceylon: A Systematic Guide to the Literature on the Land, People, History and Culture Published in Western Languages from the Sixteenth Century to the Present day, Switzerland, Inter Documentation Company, Vol. 5.

    1980, “No Longer A Growing Organism”, Roads to Wisdom, (ed) Eashwarie Corea, Colombo, The Public Library, pp. 212-218.

    1975, “A University, its Library and the Undergraduate”, Pusthakala Ha Janathawa 1925-1975, (ed) Eashwarie Corea, Colombo, The Public Library, pp. 130-135.

    1984, Lanka their Lanka: Cameos of Ceylon through Other Eyes, New Delhi, Navrang.

    1974, Scientific Documentation in Sri Lanka (Ceylon): Prolegomena to Co-operation and Co-ordination, International Library Review, Vol. 6, pp. 125-145.

    1978, Mass Communication in Sri Lanka: an Annotated Bibliography, Singapore, Asian Mass Communication Research and Information Centre.

    1980 November, Cattle Breeding in Sri Lanka: a Preliminary Bibliography.

    1960-61, Writings on Ceylon Epigraphy, Reprinted from the Ceylon Historical Journal, Vol. 10, Nos. 1-4.

    1975, The April 1971 Insurrection in Ceylon: A Bibliographical Commentary, Belgium, 2nd Edition, Revised and Enlarged Printed.

    1992, “Peradeniya 1953-54: A Sheaf of Memories”, University of Ceylon/ University of Peradeniya Golden Jubilee Souvenir 1942-1992. Samuel Newell, Herald of the American Mission to Ceylon, 1813-1814.

    2005, (ed) The Road to Peradeniya: An Autobiography of Sir Ivor Jennings, Colombo, The Lake House Investment Limited.

    1946, (ed) George Claessen Drawings, Mt. Lavinia.

    1990, (ed) George Keyt Drawings, Colombo, George Keyt Foundation.

    1989, George Keyt: a Life in Art with a bio-bibliography of the Artist 1923-1985, Colombo, George Keyt Foundation. A Bibliography of the Art and Archaeology of Ceylon: A Systematic Guide to Books and Articles in Western Languages from the Earliest Time to the Present Day (A Type Scripted Book)

    1997, Introduction, Sri Lanka: A Personal Odyssey, Nihal Fernando, Colombo, Studio Times.

    1963, A Bibliography of Ceylon Coins and Currency: Ancient, Medieval and Modern, Reprinted from Ceylon Journal of Historical and Social Studies, Vol. 6, No. 2, (July-December)

    1971, A Bibliography of the Published Writings of SenaratParanavithana, 1924-1970, Reprinted from Ceylon Journal of Historical and Social Studies, New Series, Vol. 1, No. 1, (January-June)

    1958 May, The Art and Architecture in Ceylon: A Bibliographical Guide to Literature in the Western Languages, Bibliography Submitted in Part Requirement for the University of London, Diploma in Librarianship (A Type Scripted Book)

    Some Unpublished Documents

    • For George Keyt on His 87th Birthday, a Poem
    • 1971, A Return to Kandy: Over Balana and Beyond, Vesak Nanayakkara, a Book Review.
    • 1999 March, Lionel Wendt and George Keyt- A Close-Up, a Critical Essay

    Some Documents on HAI Goonetileke

    • Proceedings on the Occasion of the Unveiling of the Portrait of Mr. H. A. I. Goonetileke, The Library, University of Peradeniya, 05.01.1997.
    • Gamlath Sucharitha, “Kebandu Nana Pahanakda Niwune”, The Divaina,
    • Vote of Condolence on Ian Goonetileke Passed by the Senate of the University of Peradeniya, “H. A. I. Goonetileke (1922-1-2003)”, The Daily News, 10.07.2003
    • Senadheera N.T.S.A., “H.A.I. Goonetileke”, The Daily News, 27.06. 2003
    • Gandhi Gopalkrishna, “Ian Goonatileke-an ‘authority on a thousand theses”, The Daily News, 12.06.2003
    • Senevirathne Gamini, “Dr. H.A.I. Goonetileke Unfinished Journeys”, The Sunday Island, 29.06.2003
    • Sumanasekare Gamini, “Pragna Parapuraka Thawath Purukak Gilihee Giya Wagai”, The Divaina
    • Boyle Richard, “They called him Encyclopaedia Zeylanica”, The Sunday Times, 08.06.2003
    • Halpe Ashley, “Honour Ian’s Precious Gift to Peradeniya”, The Sunday Times, 20.07.2003
    • J.H.L., “Ian’s Richmond days: From egghead to bookworm”, The Sunday Times, 24.08.2003
    • Senevirathne Malinda, “Ian Goonetileke: The bookman passeth”, The Island, 25.05.2003
    • Gunawardhana Tilak A., “H.A.I. Goonetileke- the unobtrusive literary great”, The Daily News, 30.05.2003
    • Appreciation: Ian Goonetileke, The Island, 07.07.2003
    • 2007, Alwis A.T., A Bibliography of H.A.I. Goonetileke Collection, University of Peradeniya
    • Muller Carl, “Ian Goonetileke- Hero of the Academic Vocation”, The Island, 18.05.2004
    • Jayatilaka Tissa, “H. A. I. Goonetileke Legend in his Lifetime”, The Daily News, 15.06.2004 (This article is extracted from the comments made by Tissa Jayatilaka on 08.05.2004, at the inauguration of the H.A.I. Goonetileke Prize for Translation instituted by the Gratiaen Trust)
    • Srikantha Sachi, “Ian Goonetileke and the Anti-Tamil Riots of July 1983”, Ilankai Tamil Sangam, 14.07.2013
    සඳරැසී සුදුසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.