කොළඹ හෙට්ටිවීදියේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකට සුරාබදු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටි 10කට අධික මුදලක් රැගෙන ගියේ යැයි කියනු ලබන පිරිසක් සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය විමර්ශන ආරම්භකර තිබේ.
මේ සම්බන්ධයෙන් රන් භාණ්ඩ අලෙවිසැල් හිමිකරුවෙක් විසින් පෙරේදා (10) පැමිණිල්ලක් කළ බව පිටකොටුව පොලිසිය සඳහන් කරයි.
එම පැමිණිලිකරු පොලිසියට පවසා ඇත්තේ පසුගිය 05 වෙනිදා සවස 5.00 ට පමණ සිය රන් භාණ්ඩ අලෙවිසැලට සුරාබදු නිලධාරීන් යැයි පවසා පිරිසක් පැමිණ ඇති බවය. එම පිරිස සිය ආයතනයේ සේවකයින් තිදෙනෙකුද, යාබදව පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලේ සේවකයින් දෙදෙනෙක්ද තවත් පුද්ගලයෙක්ද සමඟ රුපියල් 102,000,000 මුදලක් රැගෙන ගොස් ඇති බවද ඔහු පොලිසියට පවසා තිබේ. එම පිරිස රන් භාණ්ඩ අලෙවි සැලේ තිබුණු ආරක්ෂක කැමරා පද්ධතියේ ඩී.වී.ආර්. යන්ත්‍රයද රැගෙන ගිය බව පැමිණිලිකරු පොලිසියට පවසා ඇත.
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී රාජගිරියේ පිහිටි සුරාබදු කාර්යාලය වෙත සිය සේවකයින් රැගෙන ගොස් ඇතැයි සිය මිතුරෙක් මාර්ගයෙන් දැන ගන්නට ලැබුණු බවද ඔහු පොලිසිය හමුවේ පවසා තිබේ.
එම මිතුරා සුරාබදු කාර්යාලයට ගොස් එහි සිටි ස්ථානාධිපති ලෙස හඳුන්වනු ලැබූ අයෙකු සමඟ කථාකර දුරකථනයෙන් තමා හා කථා කිරීමටද අවස්ථාවක් ලබාදුන් බව ඔහු පොලිසිය හමුවේ සඳහන් කර ඇත. සේවකයන් මුදා හැරීමට නම් රැගෙන ආ මුදලින් භාගයක් ලබාදිය යුතු බව දුරකථනයෙන් කථා කල පුද්ගලයා පැවසූ බවත් මුදල් නොදෙන්නේ නම් රැගෙන ආ පුද්ගලයින් ට මත්ද්‍රව්‍ය නඩුවක් පවරා එම මුදල් නඩුවලට ඇතුලත්කරන බව පැවසූ බවද එම පුද්ගලයා පොලිසිය හමුවේ පවසා තිබේ.
ඊට තමා එකඟ නොවූ බව ඔහු පොලිසිය හමුවේ පවසා ඇත. පසුව සුරාබදු නිලධාරීන් ලෙස පෙනී සිට රැගෙන ගිය රන් භාණ්ඩ අලෙවිසැල් සේවකයින්ගෙන් දෙදෙනෙක් මුදා හැර සිව් දෙනෙක් නීති විරෝධි දුම්වැටි ලඟ තබා ගැනීමේ වරදට මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරා ඇති බව අනාවරණය වූ බවද ඔහු පොලිසිය හමුවේ පැමිණිලි කරමින් සඳහන් කර ඇත.
පසුව සුරාබදු නිලධාරීන් යැයි පැවසූ අය විසින් යාබද රන් භාණ්ඩ අලෙවිසැලේ හිමිකරුගෙන් රැගෙන ගිය මුදලින් රුපියල් කෝටි 5ක මුදලක් ලබාදී ඇති බව ඔහු සිය පැමිණිල්ලෙහි සඳහන් කර තිබේ.
තමාට හිමිවිය යුතු රුපියල් 49,425,000ක මුදලක් සුරාබදු නිලධාරීන් විසින් බලහත්නාරයෙන් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත් ඔහු සිය පැමිණිල්ල ඔස්සේ පිටකොටුව පොලිසියෙන් ඉල්ලා ඇත.