හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී කාන්තාවන් දෙදෙනෙක් සමඟ අත්අඩංගුවටගත් රන් පැහැති ටී 56 අවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් වන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක විසින් ඔහුගේ නිවසේ සේවයකළ අරක්කැමියෙක් මගින් අත්අඩංගුවේ පසුවන කාන්තාවකට ලබාදී ඇති එකක් බව පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබේ.
එම අරක්කැමියාවද පොලිසිය පෙරේදා (22) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් අරක්කැමියාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු බොහෝ තොරතුරු හෙළිකර ඇත.
රුවන්වැල්ලේ හෝටලයක සේවයේ නිරතව සිටියදී ඔහුව අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම ගිනි අවිය අදාල දේශපාලනඥයාගේ දැනුම්දීමකට අනුව සිය නිවසට රැගෙනවිත් භාරදෙනු ලැබුවේ මෙම අරක්කැමියා විසින් බවට අත්අඩංගුවේ සිටින කාන්තාවක් විසින් කළ හෙළිකිරීමකට අනුව අරක්කැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
හැච්ලොක් සිටි නිවාස සංකීර්ණයට යාබද ප්‍රදේශයක පිහිටි නිවසක දුමින්ද දිසානායක රැදී සිටි නිවසක් ඇති බවත් අරක්කැමියා සේවයේ නිරතව සිට ඇත්තේ එම නිවසේ බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත.
පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමත් සමඟ දිසානායක මහතා විසින් බෑග් දෙකක දමා මෙම ගිනි අවිය අරක්කැමියා අතට දී අදාල කාන්තාවගේ නිවසට ගොස් භාරදෙන ලෙස දැනුම්දී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
තමා පාගමනින්ම හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ එලිබෑන්ක් ටවර් වෙත ගොස් එහි ඉහළ මහලක ඇති නිවසකට ගොස් එම බෑගය කාන්තාවට භාරදුන් බව ප්‍රශ්න කිරීම් හමුවේ අරක්කැමියා විසින් පවසා තිබේ.
එම නිවස හිමි කාන්තාව 69 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇය සමඟ පොලිසිය ඇගේ පුතාගේ විවාහක බිරිඳ වන කසකස්තාන ජාතික කාන්තාවක්ද අත්අඩංගුවට ගත්තේය. ඒ ඉකුත් 20 වෙනිදා සවස් කාලයේදීය. එම කසකස්තාන ජාතික කාන්තාව අවුරුදු 40ක් වයසැති තැනැත්තියකි. ඇය සිය සැමියා සමඟ පදිංචිව සිටින්නේ පැලවත්තේ බව පොලිසිය සඳහන් කරයි.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින්නේ 69 හැවිරිදි කාන්තාව පමණක් බවත් ඇගේ සැමියා නොමැති බව ද විමර්ශන වලින් අනාවරණය වී ඇත. ඇයට දියණියක් සිට ඇති අතර ඇය වසර කිහිපයකට පෙර හැවලොක් සිටි නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් පැන සියදිවි හානිකරගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි. එම දියණිය වයස අවුරුදු 25කට අඩු තැනැත්තියක් බවත් පොලිසිය සඳහන් කරයි. රාත්‍රී සමාජ ශාලා වෙත යාමට මුදල් නොදීම හේතුවෙන් සිය මව සමඟ උරණ වී ඇය සියදිවි හානිකරගෙන තිබුණු බව පොලිස් විමර්ශන වලින් එකල කියැවිණි.
නිවස හිමි 69 හැවිරිදි කාන්තාට ඇති ස්ථීර ආදායම් මාර්ගයක් ගැන තොරතුරු මෙතෙක් හෙළිවී නැති බවත් ඇය අදාල දේශපාලනඥයා සමඟ ඉතා කිට්ටුවෙන් සම්බන්ධකම් පවත්වා ඇති බව පෙනී යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පසුගිය 20 වෙනිදා ඇය සිය ලේලිය වූ කසකස්තාන ජාතික කාන්තාව සමඟ නිවාස සංකීර්ණයෙන් පිටව ගොස් ඇත්තේ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක නැගීය. ඒ යන විට ඇය බෑගයක් රැගෙන විත් මෝටර් රථයේ ඩිකියට දමාගෙන ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. සිය පුතාගේ දරුවා චාරිකාවක් යාමට ඇදුම් ඇසුරාගැනීමට බෑගයක් තිබේනම් රැගෙන එන ලෙස තමාට පැවසූබවත් ඒ අනුව නිවසේ තිබුණු බෑගයක් තමා ලේලිය සමඟ රැගෙන ගිය බවත් ඇය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. දරුවාට බෑගය ලබාදෙන විට ඒ තුළ මෙම ගිනි අවිය හමුවූ බවත් එය සෙල්ලම් භාණ්ඩයක් විය හැකි යැයි සිතා ගිනි අවිය ඩිකියේ තබා බෑගය දරුවන්ට දුන් බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබේ. අවිය මෝටර් රථයේ ඩිකියේ තිබියදී සුපිරි සාප්පු සංකීර්ණයකටද ඔවුන් දෙදෙනා ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
මෙම කාන්තාවත් කසකස්තාන් ජාතික ලේලිත් නැවත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයට පැමිණ ඇත්තේ සවස් කාලයේදීය. ඒ පැමිණි ඔවුන් මෝටර් රථය නිවාස සංකීර්ණයේ එලිබෑන්ක් ටවර් ගොඩනැගිල්ලෙහි රථ ගාලේ නතරකර ඇත. 69 හැවිරිදි කාන්තාවගේ දැනුම්දීමට අනුව ඩිකියේ තිබුණු ගිනි අවිය කසකස්තාන ජාතික කාන්තාව විසින් අතට ගෙන සෙල්ලම් බඩුවක් රැගෙන යන ආකාරයට මෝටර් රථය නතරකර තිබුණු ස්ථානයේ සිට විදුලි සෝපානය වෙත ගමන්කර ඇති බව පොලිසිය සඳහන් කළේය. මෙම ගොඩනැගිල්ලෙහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි ආරක්ෂකයින් අතර විශ්‍රාමික යුධ හමුදා සෙබලෙක් සිට ඇත. කසකස්තාන ජාතික කාන්තාව විසින් රැගෙන යමින් සිටි රන් පැහැති ටී 56 අවිය ගැන ඔහුට සැකයක් ඇතිවී තිබෙන බව පොලිසිය සඳහන් කළේය. ඇය එම ගිනි අවිය රැගෙන යන ආකාරයට අනුව තරමක් බරැති බව පෙනී ගොස් ඇති බැවින් ආරක්ෂක නිලධාරියා එම අවිය සැබෑ අවියක් විය හැකිබවට අනුමාන කරමින් කාන්තාවගේ අතවූ එම අවිය ගැන ප්‍රශ්නකර තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ එය සෙල්ලම් අවියක් බවත් දරුවන් විසින් සෙල්ලම්කර වාහනයේ ඩිකියට එය දමා ඇති බව 69 හැවිරිදි කාන්තාව පවසා ඇති බව සඳහන්ය. එයින් සෑහීමට පත්නොවූ ආරක්ෂක නිලධාරියා එම අවිය
තමා අතට ගෙන පරීක්ෂාකර බැලීමේදී එය සෙල්ලම් අවියක් නොව, සැබෑ ටී 56 අවියක් බව තහවුරු වී තිබේ. ඒ අනුව 21238644 අංකය දරණ එම ටී 56 අවිය සියභාරයටගත් ඔහු ඒ බව සිය උසස් නිලධාරීන් මගින් වැල්ලවත්ත පොලිසියට දැනුම්දීමට පියවර ගෙන තිබේ.
වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් හැවලොක් සිටි නිවාස සංකීර්ණයට පැමිණ ගිනි අවියත් සමඟ මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ප්‍රශ්න කිරීමේදී පවා ඔවුන් මුලින් පවසා ඇත්තේ ගිනි අවිය සෙල්ලම් භාණ්ඩයක් බවය. රැදවුම් නියෝගයක් ලබාගෙන කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ 69 හැවිරිදි කාන්තාව පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයා වන හිටපු ඇමතිවරයා විසින් මෙම අවිය බෑග් දෙකක දමා සිය නිවසට ගෝලයෙක් අත එවූ බවය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්විය යුතු බැවින් වැඩිදුර පරීක්ෂණ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත ඊයේ (22) දින භාරදීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
තවදුරටත් සාක්ෂි රැස් කිරීමකින් අනතුරුව ලැබෙන සාක්ෂිමත අදාල දේශපාලනඥයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරනු ඇති බව ද එම නිලධාරියා කීය. මෙවැනි රන් පැහැති අවි බහුලව භාවිතා කරනු ලබන්නේ මැදපෙරදික කලාපයේ ජීවත්වන ධන කුවේරයන් බව ද එම නිලධාරියා පැවසීය.
මෙම අවිය මැද පෙරදිගින් අදාල දේශපාලනඥයාට ලද එකක්ද විය හැකි බවටද සැක කරයි.