විදේශගතව සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ගොත අසංකගේ මත්කුඩු ජාලයේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 07ක් පමණ වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 02යි ග්‍රෑම් 218ක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
ගොතටුවේ නිවසක වලදමා තිබියදී මෙම මත්කුඩු තොගයෙන් කොටසක් හමුවී තිබේ. හෙරොයින් තොගයට අමතරව මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව සැකකරන රුපියල් 667,000ක මුදලක්ද ජංගම දුරකථන 02ක් හා මත්ද්‍රව්‍ය බෙදා හැරීමට යොදාගත් බව සැකකරන මෝටර් රථයක්ද සැකකරු සතුව තිබී සොයාගෙන තිබේ. මේ හැරුණු කොට මෙම සැකකරුට අයත් බව කියන යතුරුපැදි 12ක්ද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එම යතුරුපැදි මත්කුඩු බෙදාහැරීම සහ විවිධ අපරාධ සඳහා යොදාගෙන තිබේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා පැවසීය.
වයස අවුරුදු 41ක් වන මෙම සැකකරු සතුව තිබී සොයාගත් ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ගොත අසංක නැමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරු විසින් විදේශගතව සිටිමින් මෙම මත්කුඩු ජාවාරම මෙහෙයන බවය. ගොත අසංක නැමැති මෙම ජාවාරම්කරු ඉන්දියාවේදී මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඉන්දියානු පොලිස් අත්අඩංගුවට පත්ව කාලයක් තිස්සේම රදවා සිට ඇත්තේ තමිල්නාඩුවේ පිහිටි බන්ධනාගාරයකය. එහෙත් අත්අඩංගුවටගත් සැකකරුගේ ජංගම දුරකථනයේ ගොත අසංක විසින් ලබාගත් දුරකථන ඇමතුම් අංකය සටහන්ව ඇත්තේ රුමේනියාවේ අංකයක් බව පෙනී ගොස් ඇත. ඉන්දියානු හිරෙන් නිදහස්ව ඔහු රුමේනියාවට පළාගොස් සිටින්නේද නැති නම් ඔහු ඉන්දියාවේ සිට රුමේනියානු දුරකථන අංකයක් භාවිතා කරන්නේද යන්න ගැන සැකයක් මතුව තිබෙන බව පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. ්
ගොතටුවේ පිහිටි මෙම සැකකරුගේ නිවස කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක්කර ඇත්තේ ඝාතනයක් සඳහා කෙරන සූදානමක් ගැන ලද තොරතුරකට අනුවය. එම නිවසේ ඒ වනවිට තිබුණු යතුරුපැදියක් එම ඝාතන සැළසුමට යොදා ගැනීමට නියමිතව ඇති බවට තොරතුරු ලැබී තිබී ඇත. ඒ අනුව කළ සෝදිසියේදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 100කට වැඩි ප්‍රමාණයක් හමුවූ බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි. එම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම් හමුවේ නිවසේ වලදමා තිබී හෙරොයින් කිලෝ 2කට අධික ප්‍රමාණය හමුවී තිබේ.
ගොත අසංක නැමැති අපරාධකරු එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවන් යොදාගෙන කොන්ත්‍රාත් මිනිස් ඝාතනවලද නිරතවූ අයෙකි. එබැවින් මෙම අපරාධකරු විදේශගතව සිට කොන්ත්‍රාත් ඝාතනවල නිරතව සිටින්නේදැයි සැකකරන බව පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් ආරම්භකර ඇත.