ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පිටකෝට්ටේ වෙහෙරකන්දේ පිහිටි සහකාර ඉංජිනේරුවරියගේ කාර්යාල කාමරයේ ලාච්චුවක වැඩි ආරක්ෂාවට දමා තිබුණු රුපියල් ලක්ෂ 40ක් වටිනා පවුම් 22ක් බරැති රන් භාණ්ඩ සොරකමකට සැකපිට එම කාර්යාලයේම සේවයේ නිරත යුවලක් මිරිහාන පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.
ජල සම්පාදන මණ්ඩල කාර්යාලයේ සේවයේ නිරත අලෙවි විධායකවරයෙක් සහ කම්කරු කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව මිරිහාන පොලීසිය පවසයි.
පැමිණිල්ල ලැබී පැය කිහිපයක් ඇතුලත සොරුන් අල්ලා සොරාගත් රන් භාණ්ඩද පොලීසිය විසින් සොයා ගැනීමට සමත්ව තිබුණි.
මෙම රන් භාණ්ඩ කාර්යාල ලාච්චුවේ දමා තිබී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදී බවත් එම භාණ්ඩ සොරාගෙන ඇති බව දැනගෙන ඇත්තේ ඊයේ දිනයේදී බවත් පොලීසිය කියයි.