තුර් කි ගුවන් යානයකින් පැමිණි ගුවන් මගියෙකුට අයත් ගමන් මල්ලක් සොරාගෙන ඒ තුළ තිබුණු රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා භාණ්ඩ සිය පුද්ගලික පරිහරණයට ගත් කැනේඩියානු ජාතික කාන්තාවන් බණ්ඩාරනායක ගුවන්තොටුපොල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 74ක් වන මෙම කැනේඩියානු ජාතික කාන්තාව ප්‍රශ්න කිරීම් හමුවේ පොලීසියට පවසා ඇත්තේ එම ගමන් මල්ල තමාගේ ගමන් මල්ල බවත් ඒ නිසා බෑගයේ තිබුණු භාණ්ඩ තමා පරිහරණය කළ බවත්ය.
මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය ඔක්තෝබර් 22 වෙනිදාය. බණ්ඩාරවෙල පදිංචි පුද්ගලයකුගේ ගමන් මල්ලක් ඇය විසින් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.
එම ගමන් මල්ලට සමාන ගමන් මල්ලක් ගුවන්තොටුපොලේ ගුවන් මගී භාණ්ඩ අතර තිබී පොලීසියට හමුවී ඇත. ගමන් මලු දෙක මාරුවී ඇති බව පොලීසිය සැකකළත් ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ ගමන් මලු දෙකම තමාට අයත් බවය.
මෙම සොරකම පොලීසියට වාර්තා වීමත් සමඟ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී කාන්තාවක් එම බෑගය රැගෙන ගුවන්තොටුපොලින් පිටතට ගමන් කරන අයුරු නිරීක්ෂණය වී ඇත. ඇය වෑන් රථයක නැගී ගමන්කර තිබේ. එම වෑන් රථයේ අංකය ඔස්සේ කළ විමර්ශනයේදී ඇය රැදී සිටින ස්ථානය ගැන තොරතුරු අනාවරණය කරගෙන අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.