සෙල්ලම් පිස්තෝලයක් රැගෙන විත් සිය අසල්වැසියෙකුට එය පෙන්වා මරණ තර්ජනය කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයකු ආණමඩුව පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (09) අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 30ක් වන මෙම උප පොලිස් පරීක්ෂකවරයා ආණමඩුව ධර්මපාලනය ප්රදේශයේ පදිංචි පුද්ගලයකුට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජනයකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
පුද්ගලික ආරවුලක් මත සිදුකල මෙම තර්ජනය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදී පොලිස් නිලධාරියා විසින් එම තර්ජනය කර ඇත්තේ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වමින් බව අනාවරණය වූ බව ආණමඩුව පොලීසිය සඳහන් කරයි.
අසල්වැසියාගේ නිවසට ඇතුළු වී කළ එම තර්ජනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියාව අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කළේය.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.