පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ සේවයේ නිරතව පොලිස් සැරයන්වරයකු පදිංචිව සිටින බාදුරාගොඩ පිහිටි නිවස හොරු බිඳ රුපියල් එක්කෝටි විසිලක්ෂයකට අධික මුදල් හා රන් ආභරණ සොරාගැනීමක් සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.
පොලිස් සැරයන්වරයා පොලීසියට පැමිණිලිකර ඇති ආකාරයට අනුව මුදලින් රුපියල් ලක්ෂ 80ක්ද පවුම් 27ක රන් භාණ්ඩද සොරාගෙන ගොස් තිබේ.
සිය බිරිඳගේ සහෝදරයා ඔහුට අයත් වාහන කිහිපයක් අලෙවිකර ටික දිනකට පෙර පරිස්සමට තබා ගැනීමට ලබාදුන් මුදල් මෙසේ සොරාගෙන ඇති බව පොලිස් සැරයන්වරයා පැමිණිලිකරමින් පවසා ඇත.
පොලිස් සැරයන්වරයා පවසා ඇත්තේ සිය බිරිඳ සහ දරුවන් දානමය පිංකමක් සඳහා පිළිමතලාවට පසුගිය 24 වෙනිදා ඇරලවා තමන් නැවත වාහනයෙන් බාදුරාගොඩ නිවසට පැමිණි බවය. නිවසින් පිටතට යන අවස්ථාවන් වලදී රන් භාණ්ඩ සහ මුදල් වාහනයේ ඩිකියේ සඟවා රැගෙන යන බවත් එදිනත් එසේ රැගෙන ගොස් නිවසට පැමිණි පසු එම මුදල් හා රන් භාණ්ඩ කාමරයේ තිබුණු ප්ලාස්ටික් කබට්ටුවකට දැමූ බවත් පොලිස් සැරයන් පවසා ඇත.
එදින සවස 2.30ට පමණ තමා දිවුලපිටියට ගොස් සවස 7.00ට පමණ නිවසට පැමිණි බවත් ඒ කාලය තුළ නිවස හොරු බිඳ ඇති බවත් පොලිස් සැරයන්වරයා කොටදෙණියාව පොලීසියට පවසා ඇත. පොලිස් නිල සුනඛයින් යොදා කළ පරීක්ෂාවේදී සුනඛයා ගමන්කර ඇත්තේ මුළුතැන් ගෙයි ඇති සිදුරක් අසලටය. වැසිකිලි අපද්‍රව්‍ය ගලා බසින බට ඇති ස්ථානයේ ඇති එම සිදුර තුළින් කිසිවෙක් නිවසට රිංගා සොරකම සිදුකර ඇති බව සැකකරන බව කොටදෙණියාව පොලීසිය සඳහන් කළේය.