තරග තුනකින් සමන්විත තරගාවලිය 2-0 ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාව වසර 27කට පසුව ඉන්දියාවට එරෙහිව අද (07) දිනයේ එක්දින තරගාවලි ජයක් ලැබුවේය.
ඒ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් එක්දින තරගයේ දී ලකුණු 110කින් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දියාව පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව මෙම දස්කම පෑවේය.
1997 (අගෝස්තු 17/20/24) ආර්.ප්‍රේමදාස පිටියේ පැවති තරග තුනකින් සමන්විත තරගාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජයගන්නා විට එම කණ්ඩායමට අර්ජුන රණතුංග නායකත්වය ලබා දුන් අතර, වත්මන් ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරිය එම තරගාවලියේ වීරයා බවට පත්ව තිබීම ද විශේෂත්වයකි.
අද පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 248ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු එකසිය දෙකක දී ලකුණු 96ක් ලබාගත් අතර, පැතුම් නිශ්ශංක පන්දු හැටපහක දී ලකුණු 45ක් ලබා ගත්තේය.
කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය. ජයග්‍රහණය හඹා යාමට පිටියට පිවිසි ඉන්දයීය කණ්ඩායම ලකුණු 138කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. පන්දුවෙන් දස්කම් පෑ දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු 5ක් දවා ගත්තේය.
ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකාව ලකුණු 248/7 (50)
ඉන්දියාව ලකුණු 138/10 (26.1)