fbpx
තවත්

    රජය සමාව ගනියි

    spot_img

    COVID-19 ආසාදිත මළසිරුරු, එවකට පැවති අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය මගින් බලපෑමට ලක්වූ ජනකොටස්වලින් රජය නිල වශයෙන් සමාව අයැදීමට තීරණය කර තිබේ.

    ඒ පිළිබඳ කැබිනට්ටුව වෙත, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා, විදේශ කටයුතු අමාත්‍යතුමා සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඒ් පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් පහත නිවේදනය කර ඇත.

    COVID-19හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශවල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මියගිය තැනැත්තන්ගේ මෘතදේහ බැහැර කිරීමේ ක්‍රමවේදය ලෙස ආදාහනය නිර්දේශ කරනු ලැබ තිබුණි. ඒ අනුව, COVID-19ට ගොදුරු වූ මුස්ලිම් ජාතික පුද්ගලයින් 276 දෙනෙකුගේ මෘතදේහ ආදාහනය කර ඇති අතර, පසුව 2021 පෙබරවාරි මාසයේදී එවැනි පුද්ගලයින් සඳහා දැඩි සීමාවන් සහිතව භූමදානය කිරීමට අවසර ලබා දී ඇත. 2021 ජූලි මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව එවකට ජලසම්පාදන අමාත්‍යාංශය විසින් ගංගා ජලය, රෝහල්වලින්, නිරෝධායන මධ්‍යස්ථානවලින් හා වෙනත් විභව ක්ෂේත්‍රයන්ගෙන් බැහැර කරනු ලබන අපජලය ඇතුළත්ව කොළඹ මහනුවර ජලජ පරිසරවල SARS-CoV-2 වෛරසය හඳුනා ගනු ලැබීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කරන ලදී. එම අධ්‍යයනය මඟින් මතුපිට ජලයෙහි කිසිදු වෛරසයක් නොමැති බව අනාවරණය වී තිබේ. 2024 මාර්තු මාසයේදී ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජල තාක්ෂණය සඳහා චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ සහ ආදර්ශන මධ්‍යස්ථානය විසින් දෙවන අධ්‍යයනයක් ද සම්පූර්ණ කරනු ලැබ ඇති අතර, එමඟින් SARS-CoV-2 වෛරසය භූගත ජලය ඇතුළු ජල මූලාශ්‍ර වෙත සම්ප්‍රේෂණය වීමේ මූලික ප්‍රභවය මළ හා මුත්‍රා මඟින් මිස ආරක්ෂිත භූමදානයන් මඟින් නොවන බවට තහවුරු වී ඇත. ඒ අනුව, COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ සමාජ කොටස්වලින් ශ්‍රී ලංකා රජය විසින් සමාව අයැදීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා, විදේශ කටයුතු අමාත්‍යතුමා සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මේ අතර පහත යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල එකඟත්වය ලැබී ඇත.

    ආගමික අභිමතය පරිදි භූමදානය කිරීම සහ ආදාහනය කිරීම පිළිබඳ යෝජිත පනත

    – COVID-19හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශවල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මියගිය තැනැත්තන්ගේ මළසිරුරු ආදාහනය කිරීම අනිවාර්ය කරන ලදී. මෙම තීරණය විවිධ ආගමික කණ්ඩායම්වල සහ මානව හිමිකම් ක්‍රියාකාරින්ගේ මෙන්ම විශේෂයෙන්ම මුස්ලිම් ආගම අදහන තැනැත්තන්ගේ කනස්සල්ලට හේතු විය. ඒ සම්බන්ධයෙන් පසුව සිදු කරන ලද අධ්‍යයනයන්ට අනුව COVID වෛරසය භූගත ජලය ඇතුළු ජල මූලාශ්‍ර වෙත සම්ප්‍රේෂණය වීමේ මූලික ප්‍රභවය මළ හා මුත්‍රා මඟින් මිස ආරක්ෂිත භූමදානයන් මඟින් නොවන බවට තහවුරු වී තිබේ. එබැවින්, ඉදිරියේදී එවැනි තත්ත්වයන් මඟහරවා ගැනීම පිණිස යම් තැනැත්තෙකුට හෝ ඥාතියෙකුට සිය අභිමතය පරිදි මියගිය තැනැත්තාගේ භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම හෝ තෝරා ගැනීමට ඉඩ සලසන නීතියක් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. එසේම, අවශ්‍ය නම් වෛද්‍ය පීඨවලට සිරුරු පරිත්‍යාග කිරීම සඳහා අදාළ නීති හඳුන්වා දීම යෝග්‍ය බව ද පෙනී ගොස් ඇත. ඒ අනුව, නව නීතියක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img