fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පුංචි වීරයෝ ඇගයීමට ලක්වෙති

    පුංචි වීරයෝ ඇගයීමට ලක්වෙති

    spot_img

    ප්‍රථම වරට සංවිධානය කරන ලද ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවයේ පසුහියදා පැවැත්විණි.

    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (ජුලි 17) දින කොළඹ පාමංකඩ ජාතික ශිෂ්‍යභට බළකා මූලස්ථානයේ පැවති උත්සවය ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා යටතේ සංවිධානය වී තිබිණි.

    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ දූරදර්ශී සංකල්පයක් මත සංවිධානය කළ මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අරමුණු වී තිබුණේ වීරත්වය පිළිබිඹු වන ක්‍රියාවන්හි යෙදුනු තරුණ තරුණියන් හඳුනාගෙන එම වීරවරයන්, වීරවරියන් ඇගයීමට ලක්කිරීමත්, සමස්ත තරුණ ප්‍රජාව අභිමානවත් පෞරුෂයකින් හෙබි තරුණ තරුණියන් බවට පත්කිරීමත් ය.

    ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශිෂ්‍ය භට බළකායට නව ප්‍රවිෂ්ඨයක් ලබාදෙමින් තරුණ විරු දරුවන්ගේ වීරත්වයන් හඳුනාගැනීමේ සහ එම වීර ක්‍රියාවන් නිසි ඇගයීමකට ලක් කිරීමේ අභිමානවත් අරමුණ පෙරදැරිව, ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික ශිෂ්‍යභට බළකාය විසින් මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරන ලදි.

    අනාගත සමාජයේ ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා ක්‍රියාශීලි, බහුශ්‍රැත, විනයගරුක සහ අසාමාන්‍ය නායකත්ව ගුණාංගවලින් හෙබි පුරවැසියන් ලෙස ඔවුන්ගේ ක්‍රියාවෙන්ම ඔප්පු කරනු ලබන තරුණ විරුවන් ඇගයීමට ලක් කිරීම හා උපහාර දැක්වීම වෙනුවෙන් මෙම ජාතික තරුණ විරු සම්මාන ප්‍රදානෝත්සවය සිදුකරනු ලබයි.

    මෙම සම්මාන උළෙලේදී චරිත්මා ජිනේන්ද්‍රි සිසුවිය සහ සසිඳු නිම්සර සිසුවා වෙත සම්මාන පිරිනැමුණේ ඔවුන් විසින් දැක්වූ සුවිශේෂී නිර්භීතභාවය සහ අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් විසින් සිදුකරන ලද පරාර්ථකාමී ක්‍රියාවන් අගයමිනි.

    එනම්, පුත්තලම මහකුඹුක්කඩවල, කිවුල පිරිවෙනේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සසිඳු නිම්සර සිසුවා අඩි 36ක් ගැඹුරැති ළිඳකට වැටී ජීවිතයත් සමඟ සටන් කරමින් සිටි සිව් හැවිරිදි දරුවෙකු බේරා ගැනීමට නිර්භීතව ඉදිරිපත්වීම සහ පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ ඉගෙනුම ලබන පාදුක්ක වග, ඉරිද පොළ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි චරිත්මා ජිනේන්ද්‍රි සිසුවිය පසුගියදා රාත්‍රියක ඒ අසල පිහිටි වක් ඔය පීටාර ගැලීම හේතුවෙන් තම නිවසේ සිරවී සිටි අඹුසැමි යුවලකගේ ජීවිත බේරා ගත්තාය. රැහැනක ආධාරයෙන් නිවස දෙසට පිහිනා ගොස්, ඉතාමත් ධෛර්ය සම්පන්නව, තම ජීවිතය පවා අනතුරේ හෙළමින් ජිනේන්ද්‍රි ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම යන වීර ක්‍රියාවන් ඇගයීමට ලක්කරමිනි.

    උත්සව සභාවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා සම්මාන ලාභී සිසු දරුවන් දෙදෙනාගේ ආදර්ශමත් වීර ක්‍රියාවන් පිළිබඳව ප්‍රශංසා කළ අතර, මෙම විරු සම්මානය ඔස්සේ විධිමත් පුහුණු විෂය මාලාවක් හරහා සාරධර්ම වලින් හෙබි, කාර්යක්‍ෂම හා ඵලදායී නායකයින් බවට පත්කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකාය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල වෙත තරුණ පාසල් සිසුන් සම්බන්ධ කිරීම දිරිමත් කරනු ලබන බව ප්‍රකාශ කළේය. එමෙන්ම ජාතික ශිෂ්‍යභට බළකාය හා සම්බන්ධ වී ජාතික සංවර්ධනය සවිබල ගැන්වීමට දායක වන ලෙස තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටීමට ද ඔහු එය අවස්ථාවක් කර ගත්තේය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න, ජාතික ශිෂ්‍යභට බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශිෂ්‍යභට නිලධාරීන් සහ සම්මානලාභීන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයෝද එක්ව සිටියහ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img