සිය අනියම් බිරිඳගේ 13 හැවිරිදි දරුවා නිවසේ කාමරයක සිරකරමින් පියා ළඟට යන ලෙස බලකරමින් පොල්ලකින් පහරදුන් මහව පොලීසියේ සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට නිකවැරටිය පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.
ගල්ගමුව පාළුකඩවල පදිංචිකාරියක් වන කාන්තාවක් සමඟ මෙම සැරයන්වරයා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බව පොලීසිය කියයි. සැරයන්වරයාද පදිංචිව සිටින්නේ ඇගේ නිවස ආසන්නයේ නිවසකය. සැමියා අහැර ගොස් සිටිින ඇය ජීවත්වන්නේ යැයි පැවසෙන්නේ 13 හැවිරිදි දරුවා සමගිනි.
මෙම මසයේ මුල් සතියේ දිනක මෙම පොලිස් සැරයන්වරයා කාන්තාවගේ නිවසට පැමිණ දරුවාව කාමරයක සිරකර කටත් දෑතත් ගැටගසා පොල්ලකින් පහරදී ඇත්තේ පියා ළඟට යන ලෙස පවසමිනි.
මේ සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පසුගිය 09 වෙනිදා පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත්තේය. ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්ද ආරම්භකරමින් සැරයන්වරයාගේ වැඩතහනම් කිරීමට නිකවැරටිය පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.