කොලොන්න උල්ලිදුවාව අප්ටන්වත්තේ දී ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන එච්.කුමාරසේන (61)නැමැති අයට ඔහුගේ නිවසට පැමිණ වෙඩි තබා ඝාතනයකර පළාගිය වෙඩික්කරුවන් දෙදෙනාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මිද්දෙණියේදී අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස්ගතව සිටින පාතාලයේ අපරාධකරුවෙක් වන රොටුඹ අමිල විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට අනුව එම ඝාතනය සිදුකල බව අත්අඩංගුවටගත් වෙඩික්කරුවන් දෙදෙනා පවසන බව පොලිස් විශේෂ කාර්ය බලකා සඳහන් කළේය. එහෙත් මොවුන් දෙදෙනාට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් පමණක් බවක් බවද අනාවරණය වී තිබේ. ඉතිරි මුදලට හරියන්න ලබාදී ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 100ක එම හෙරොයින් විකුණා මුදල්කරගන්නා ලෙස රොටුඹ අමිල පවසා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ තොරතුරු සඳහන් කළේය.
වෙඩි තැබීමට යොදාගත් බව කියන ගල්කටස් අවි දෙකක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා කැළෑ මහින්ද සහ තේක්ක සුද්දා නමින් හඳුන්වන අය බවත් ඔවුන් දෙදෙනා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රිමාණ්ඩ් සිරකරුවන් ලෙස සිට ඇපමත පැමිණ මාස එකහාමරක් වන බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. මෙම සැකකරුවන් දෙදෙනා මෙයට පෙර ගිනි අවි භාවිතාකරමින් මිනිස් ඝාතනවල යෙදී නැති බවත් ගිනි අවි සම්බන්ධයෙන් චෝදනා නොමැති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එහෙත් ඔවුන් දෙදෙනාට එරෙහිව මංකොල්කෑම් සහ සොරකම් විශාල ප්‍රමාණයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ කිහිපයකම නඩු විභාගයන් 20ක් පමණ සිදුවන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
මෙම සැකකරුවන් අතර සිටින කැලෑ මහින්ද නැමැති අය මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකි. මාකදුරේ මධුෂ්ට අයත්ව තිබුණු මාලබේ ආරක්ෂක නිවස්නයක පවා ඔහු කලක් නවාතැන් ගෙන සිට ඇති බව කියැවේ. මධුෂ්ගේ ඩුබායි සාදයේදී ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතවූ රොටඹ අමිල එහිදී නැවතත් කැලෑ මහින්ද සමඟ සම්බන්ධකම් ගොඩනගාගෙන සිට ඇති බව පොලීසිය කියයි. එම සම්බන්ධකම් ඔස්සේ රොටඹ අමිල ඇප මත නිදහස්වීමෙන් අනතුරුව නැවතත් ඩුබායි වෙත පළාගොස් තිබේ. එහි සිට දුරකථනවලින් කථාබහ කරමින් කැලෑ මහින්ද සමඟ ඔහු සම්බන්ධකම් පවත්වාගෙන ගොස් තිබේ.
මෑතකදී රොටඹ අමිල මෙම කැලෑ මහින්දට ඇමතුම් ලබාදී ඇත්තේ ප්‍රංශයේ භාවිතාකරන දුරකථන අංකයකිනි. ඒ අනුව විශේෂ කාර්ය බලකාය සැකකරනුයේ රොටඹ අමිල මේ වන විට ප්‍රංශයේ රැදී සිටින බවය.
කැලෑ මහින්දගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමාගේ ලොකු අම්මාගේ අතක් වෙන් වන්නට කැපූ පුද්ගලයෙකු ඝාතනය කිරීමට රොටඹ අමිල විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන් බවය.
මේ ගැන සොයා බැලීමේදී අනාවරණය වූයේ රොටඹ අමිලගේ ලොකු අම්මාගේ අතක් කිසිවෙක් කපා වෙන්කර නැති බව යැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. ඉඩම් ආරවුලක් මුල්කරගෙන ඝාතනය වූ කුමාරසේන නැමැති අය විසින් මුහුණට පහරදීමක් සිදුකර ඇති බවත් එම පහරදීමෙන් ලොකු අම්මාගේ දතක් කැඩී ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකායේ විමර්ශන අංශ ප්‍රධානයෙක් සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් කොලොන්න පොලීසියේ පැමිණිල්ලක් පවා සටහන්වී ඇති බවත් දෙපාර්ශවය ගෙන්වා සමාදානය කර ඇති බවත් පෙනී ගොස් ඇත. ඒ හැරුණු කොට වෙන සිදුවීමක් නොමැති බවත් මෙම ඝාතනය එම සිදුවීම මුල්කරගෙන රොටඹ අමිල විසින් සිදුකර වා ඇති බව සැකකරන බවත් එම නිලධාරියා පැවසීය.
රාමනායකගේ ඉන්දික කුමාර නොහොත් කැළෑ මහින්ද නැමැති පුද්ගලයා හා ජයවර්ධන අබේසිංහ පතිරණගේ සදකැළුම් ජයවර්ධන නැමැති පුද්ගලයා සමඟ අත්අඩංගුවටගත් ගල්කටස් වර්ගයේ ගිනි අවි 02 ක්, බෝර 12 ජිව උණ්ඩ 02 ත් හෙරොයින් ග්‍රෑම් 100 ත් වෙඩිතැබීම සදහා පැමිණි බවට සැකකරන අංක BCF 1681 දරණ යතුරු පැදියත් රොටඹ අමිල සමඟ කථාබහ කළ ජංගම දුරකතන 03 ත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොලොන්න පොලිස් ස්ථානය වෙත භාර දුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි ස්‍ථානාධිපති පොලිස් පරීක්ෂක පි.කේ.ඩි.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මිද්දෙනිය පොලිස් වසමේ ඇඟළුම් ආයතනයක් අසල මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

