(නදීක දයා බණ්ඩාර – මහනුවර)
අකුරණ පිහිටි ප්‍රධාන පෙලේ බේකරි නිෂ්පාදන අලෙවි ආයතනයක අද (05) උදෑසන හගත් ගින්න හේතුවෙන් තාවකාලිකව වසාදැමුණු මහනුවර-යාපනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කිරීමට පොලීසියට පියවර ගෙන තිබේ.
අද පෙරවරු 07.00ට පමණ ගින්න ආරම්භ වී ඇති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගැනීම සිදුව ඇතැයි විමර්ශකයින් සැකකරයි.
මේ හේතුවෙන් තෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ඊට යාබදව පිහිටි ජාත්‍යන්තර පාසලකට හා තීන්ත අලෙවි සැලකට ද ගින්න ව්‍යාප්ත වී තිබේ.
ගින්න ආරම්භයත් සමඟ පාසලේ දරුවන් කඩිනමින් ඉවත් කිරිමට අලවතුගොඩ පොලිසිය හා ප්‍රදේශවාසීන් කටයුතු කළ අතර වෙළඳ සැලේ වූ තීන්තද විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වී ඇත.
ගින්න පැතිරීම නිසා ජාත්‍යන්තර පාසලේ ගොඩනැගිලි හතරකට හානි සිදුව තිබේ.
මහනුවර නාගරික ගිනි නිවීමේ සේවා ඒකකයේ නිලධාරීන්, පොලිසිය හා යුද හමුදා නිලධාරීන් ප්‍රදේශවාසින් හා එක්ව ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සමත්වූ අතර පසුව අබලි ද්‍රව්‍ය ඉවත් කොට මාර්ගය සොදා දැමීමෙන් පසු මාර්ගය යළි විවෘත කොට තිබේ.
හානි වූ ගොඩනැගිල්ලේ කොටස් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමට ඉඩ ඇති බැවින් වාහන ධාවනයේදී සුපරික්ෂාකාරී වන ලෙස අලවතුගොඩ පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.





