fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙත් කලාපයට මහ වැසි, වියළි කලාපයට නැත්තටම නැතිවන බවට අනතුරු ඇඟවීමක්

    තෙත් කලාපයට මහ වැසි, වියළි කලාපයට නැත්තටම නැතිවන බවට අනතුරු ඇඟවීමක්

    ඉදිරි දශක 05 ඇතුළත තෙත් කලාපවල වැසි වැඩිවීමත්, වියළි කලාපවල වැසී නොමැති තත්ත්වයක් ඇතිවන බවටත් පුරෝකථනය කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු අවධාරණය කරන්නේ වෙනස්වන කාලගුණයට අනුරූපව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි විසඳුම් දැන් සිට සොයා බලා  ක්‍රියාත්මක විය යුතු බවයි.

    වෙනස් වන ලෝකයට ගැලපෙන ආකාරයෙන් ආර්ථික, සාමාජීය අධ්‍යාපන හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර තුළ නව පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

    මේ අතර මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව ද ජනාධිපතිවරයා කීය.

    මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය සහ ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගය තිබෙන්නේ වන්දනාකරුවන් සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීම සාධාරණ කටයුත්තක් ලෙස තමා නොදකින බවද සඳහන් කළේය.

    මඩු වන්දනාකරුවන් ඉදිරියේදී යළි අත්අඩංගුවට පත්වුවහොත් වහාම ඒ පිළිබඳ ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.

    ප්‍රශ්න මතුව ඇත්නම් සියලුදෙනා එක්ව සාකච්ඡා කර ඒවාට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මඩු දේවස්ථානය සඳහා පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා දැනට තිබෙන මඩු මාර්ගය දෙපස කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ද යුද හමුදාවට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා මන්නාරම රදගුරු හිමියන්ගේ නියෝජිතයෙකු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගන්නා ලෙසද දැනුම් දුන්නේය.

    මඩු දේවස්ථානයේ ඉදිරියේ දී පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට පෙර මෙම පවිත්‍රතා කටයුතු නිම කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

    මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සොයා බැලීමේ අරමුණින් කැඳවා තිබු මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සඳහා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටියහ.

    දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, අධ්‍යාපන, වාරිමාර්ග ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටළු මෙහිදී සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුනු අතර එම බොහෝ ගැටළුවලට එම අවස්ථාවේ විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

    එමෙන්ම මන්නාරම රෝහලට දිගු කලක සිට අඩු පාඩුවක්ව පවතින CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීම පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය කඩිනමින් ඉටු කර දෙන බවද පැවසීය.

    මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයට අහිමි වූ සංවර්ධනය නැවත ලබා දෙන බවත් එම වැඩපිළිවෙළ මෙම වසරේදි ආරම්භ කරන බවත්ය.

     

     

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.