ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ගංවතුරට හසුවී මියගිය කුකුළන් වෙළෙඳපොළ තුළ මේ දිනවල අලෙවි කිරීම සිදුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහි වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින‍්නේ එබැවින් මේ දිනවල කුකුළු මස් මිලදී ගැනීමේ දී වැඩි අවදානයක් යොමුකරන ලෙසයි.
එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිතකර බවද සඳහන් කරන සංජය ඉරසිංහ මහතා මෙසේද කීය.
“ගංවතුරට අහුවෙලා මියගිය කුකුළන්ව සුද්ද කරලා, පැකට් කරලා විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. අපි මේ ගැන මේ දවස් ටිකේම සුපරික්ෂාවෙන් හිටියා. වැටලීම් කරා. දිවයින පුරාම මේක කරනවා. ඔබත් කුකුළු මස් ගැනීමේ දී මේ ගැන පරීක්ෂා කර බලන්න. විශේෂයෙන්ම මසට ඇති කරන කුකුළන් සුදු පාටයි. මේ කුකුළන් රතු පාටට හුරුයි. මේක කොච්චර උෂ්ණත්වයට තැම්බුවත් විෂබීජ මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ ගැන තොරතුරක් තිබුණොත් වහාම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දෙන්න.”
“කැලණි ගඟ ආශ්‍රිතව තමා ගොඩාක් ගබඩා තියෙන්නේ. ගංවතුරට අහුවුණ තැන් තියෙනවා නම් ගොඩක් අඩු මුදලට ඔන්ලයින් භාණ්ඩ ගෙනත් දෙනවා කියලා දැන්වීම් දාලා ඇති යූටියුබ් සහ ෆේස්බුක්වල. මේවට අහුවෙන්න එපා. මේවා පරිභෝජනයට සුදානම් කරපුවා නෙමෙයි. 1977ට කරුණාකරලා මෙහෙම ඒවා දැනුම්දෙන්න.”