fbpx
තවත්
    මුල් පිටුවspecialලෝකේ ලොකුම ඡන්දෙන් ඉන්දියාව යළිත් මෝදිට

    ලෝකේ ලොකුම ඡන්දෙන් ඉන්දියාව යළිත් මෝදිට

    ලොව විශාලතම මැතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය ලබමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට මහමැතිවරණයේ ජය ප්‍රකාශයට පත් කර තිබේ.

    සති හයක් පුරා අදියර හතකින් පැවැති මෙම මැතිවරණයට බිලියනයකට ආසන්න ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී තිබුණි.

    මෝදිගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙවර මැතිවරණයේ දී අපේක්ෂිත ආසන සංඛ්‍යාවට වඩා බොහෝ අඩුවෙන් දිනා තිබීම විශේෂත්වයකි.

    මෝදිගේ සන්ධානය දිනාගැනීමට අපේක්ෂා කළ ආසන ගණන 400 ට වඩා වැඩිය.

    නමුත් ඔහුගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ආසන 300කට අඩු ප්‍රමාණයක් දිනාගෙන මැතිවරණ ප්‍රතිඵලයේ ඉදිරියෙන් සිටී.

    විපක්ෂ පක්ෂ ආසන 230ක් පමණ ලබාසිටින බව එරට වාර්තා පවසයි.

    මන්ත්‍රීවරුන් 543කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 272කට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගන්නා පක්ෂයකට හෝ සන්ධානයකට ආණ්ඩුව පිහිටුවිය හැකිය.

    දිල්ලි නුවරදී අදහස් දක්වමින් මෝදි තම ජනවරම වෙනුවෙන් ඡන්දදායකයින්ට ස්තූති කරන අතරම “හරිත කාර්මීකරණයක්” ගෙන ඒමට පොරොන්දු විය.

    රට “හරිත යුගයකට” ඇතුල් වන බව ප්‍රකාශ කළ මෝදිගේ තවත් මූලික ඡන්ද පොරොන්දුවක් වන්නේ දූෂණයයි.

    එය මුලිනුපුටා දැමීම දුෂ්කර බව ඔහු පිළිගන්නා නමුත් ඔහු සිය තුන්වන අගමැති ධුර කාලයේදී එය “මූලයෙන්” ඉවත් කිරීමට “හැකි සියල්ල කිරීමට” පොරොන්දු විය.

    දිළිඳුකම අවසන් කිරීමට දිවුරුම් දෙමින්, “ඉන්දියාවෙන් දුප්පත්කම තුරන් වනතෙක් අපිට නවතින්න බෑ” යැයිද මෝදි වැඩිදුරටත් අවධාරණය කළේය.

    තෙවන වරටත් අසල්වැසි රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ජයග්‍රහණය ලැබූ මෝදි වෙත, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ද සිය සුබපැතුම් එක් කළහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.