ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ගමන් ගත් හෙලිකොප්ටර අනතුරෙන් එහි කිසිවකු ‘ජීවත්ව සිටින බවට සිතිය නොහැකි’ යැයි එරට නිල මාධ්‍ය වාර්තා කර ඇති පසුබිමකදී, පසුගියදා ජනාධිපතිවරයා මෙරට සංචාරයකට පැමිණි අවස්ථාවේදී ඔහුට තිබූ ‘හෙලිකොප්ටර ගමන් භීතියක් හෝ ස්වයංවාරණයක්’ පිළිබඳ තොරතුරු නිව්ස්වේව් අපිට දැනගන්නට ලැබේ.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමට ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා මෙරටට පැමිණියේ පසුගිය 24 වෙනිදාය. එදා ඉරාන ජනාධිපතිවරයා පැමිණි ගුවන් යානය ගොඩබස්සවන ලද්දේ මත්තල ගුවන් තොටුපොල වෙතය.
ඉරාන ජනාධිපතිවරයාව මත්තල සිට උත්සව භූමියට රැගෙන යාමට මුලින්ම සැලසුම් කර තිබී ඇත්තේ හෙලිකොප්ටරයක් මගිනි. ඊට මුල්වූයේ ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරක කාල සටහනට අනුව ඉරාන පාර්ශවයෙන් මත්තල සිට උත්සව භූමියට යාමට වෙන්කර තිබුණේ විනාඩි 20ක් වැනි කෙටි කාලයක් හේතුවෙනි.
මෙතරම් කෙටි කාලයක් තුළ උත්සව භූමියට මත්තල සිට මහමගින් ගමන් කිරීමට නොහැකි බව මෙරට ආරක්ෂක අංශ විසින් තහවුරු කළත් හෙලිකොප්ටර් ගමන ඉරාන ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම ‘හෙලිකොප්ටර් ගමන’ දැඩිව ප්‍රතික්ෂේප කර තිබුණි.
මේ තත්ත්වය මත මත්තල සිට උත්සව භූමිය වෙත ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මාර්ගය ඔස්සේ රැගෙන යන්නට මෙරට ආරක්ෂක අංශවලට සිදුවිය.
ඒ සම්බන්ධයෙන් පෙරහුරු කිහිපයක් සිදුකළ ද පැයකට අඩු කාලයකින් ඔහුව උත්සව භූමියට රැගෙන යාමට නොහැකි බව තහවුරු විය.
එහෙත් ඉරාන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයාබැලීමට මෙරටට පැමිණ සිටි ඉරාන ආරක්ෂකයින්ගේ තක්සේරුව වූයේ විනාඩි 20කින් මත්තල සිට ගමන් කිරීමට හැකි බවය.
එය නොහැකි බව අපේ ආරක්ෂක අංශ දැන සිටියත් ඉරාන ආරක්ෂකයින්ගේ කීමට එකඟවන්නේ මතගැටුමක් ඇතිවීම ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයට බාධාවක් වියහැකි වූ බැවිනි.
ඉරාන ජනාධිපතිවරයා මත්තලට පැමිණි පසු එතැන් සිට ආරක්ෂක රථ පිරිවරා උත්සව භූමියට ගමන් කිරීමේදී එම මාර්ගය මුළු මනින්ම සාමාන්‍ය රථවාහන ධාවනයට පමණක් නොව මහමග ගමන් කරන්නන්නට තහනම් කරනු ලබන්නේ ඉතා වේගයෙන් ඉලක්කගත වේලාවට ජනාධිපතිවරයාව උත්සව භූමියට රැගෙන යාමේ අපේක්ෂාව ඇතිව ය.
කෙසේවෙතත් අවසානයේදී ජනාධිපතිවරයා මත්තල සිට උත්සව භූමියට ගමන් කිරිමට පැයක කාලයක් ගතකර තිබුණි.
උත්සවය අවසානයේදී එහි සිට කොළඹ ඔහු නවාතැන් ගැනීමට සැලසුම් කර තිබූ හෝටලය වෙත හෙලිකොප්ටර්යක් මගින් රැගෙන ඒමට සැලසුම් කර තිබුණද එයද ඉරාන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රතික්ෂේප කර තිබුණි.
එබැවින් නැවතත් මත්තලට මහාමාර්ගය ඔස්සේ පැමිණි ඉරාන ජනාධිපතිවරයාව කොළඹට රැගෙන එනු ලබන්නේ මත්තල සිට කටුනායකට ඔහු පැමිණි ගුවන් යානයෙනි.
කටුනායක සිට එදින රාත්‍රී කාලයේ ජනාධිපතිවරයා ඔහු රැදී සිටි හෝටලය වෙත ගෙන එන්නේ අධිවේගී මාර්ගය ඔස්සේය. මෙරට සංචාරය නිමකර ඔහු නැවත ගමන් කරන්නේද අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායකට ගොසිනි.
ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරයක් සඳහා පැමිණෙනු ලබන්නේ පකිස්ථානයේ සිදුකල සංචාරයකින් අනතුරුවය. දින කිහිපයක් ඔහු පකිස්තානයේ රැදී සිටියත් එහිදී ද හෙලිකොප්ටර් ගමන් ගොස් තිබුණේ නැති බවට වාර්තා විය.
කෙසේවෙතත් මෙරට ඇතුළු පසුගිය දා කළ විදේශ සංචාරයේදී හෙලිකොප්ටර් ගමන් දැඩිව ප්‍රතික්ෂේප කර ඉරාන ජනාධිපතිවරයා අසර්බයිජාන වයඹ දිග කලාපයේදී හෙලිකොප්ටර් ගමනක් අතරතුරදී අනතුරකට ලක්වී ඇත.
ඉරාන ජනපති, එහි විදේශ ඇමතිවරයා ඇතළු 9 දෙනකු මෙම හෙලිකොප්ටර් ගමනට එක්ව තිබුණි.
පවතින දැඩි මීදුම් සහිත අයහපත් කාලගුණය හමුවේ වෙනත් ගුවන් යානාවලින් ඔවුන් සොයාගත නොහැකි වුවත් මේ වනවිට ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ මෙම හෙලිකොප්ටරය ‘කිසිවකු දිවිගලවාගෙන ඇති බවට සිතිය නොහැකි තරමට’ අනතුරට ලක්ව ඇති බවට ය.
මෙම සිදුවීම පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඉරානයට මෙන්ම ලෝකයට තරමක කම්පනයක් ගෙනදෙන්නක් බව විශ්ලේෂකයන්ගේ අදහසයි.