කුකුළු කෑම සමඟ ලොරියක් කොල්ලකෑ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොල්ලය සිදුව ඇත්තේ පසුගිය 18 වෙනිදා අලුයම 4.00ත් 5.30ත් අතර කාලය තුළදීය.
රුපියල් ලක්ෂ 37කට වැඩි දේපොල හා මුදල් වටිනාකමක් ඇති මෙම කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයකි.
සැරයන්වරයා නවගත්තේගම පොලිස් ස්ථානයට අනුයුක්තව කොට්ඨාශ රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින ආණමඩුවේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි. කොස්තාපල්වරයා පුත්තලම පොලිස් ස්ථානයට අනුයුක්තව කොට්ඨාශ රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින හලාවත පදිංචිකරුවෙකි.
සෙසු සැකකරුවන් නාගවිල්ලුව, පාලවිය, අට්ටවිල්ලුව, යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
මාවනැල්ලේ පදිංචි ව්‍යාපාරිකයකු ඔහුට අයත් SG LA 0937 අංකය දරණ ලොරි රථයෙන් කුකුළු කෑම මිටි 125ක් රැගෙන පුත්තලමට පැමිණ ඇත්තේ ඔහුට ලද ඇනවුමකට අනුවය. ඇනවුම් ලබාදුන් පුද්ගලයා ඇමතුමක් ලබාදෙන තුරු ඔහු ගමන් මහන්සියත් සමඟ ලොරි රථය පුත්තලම අනුරාධපුර මාර්ගයේ ඇති හෝටලයක් අසල නවතා ලොරි රථය තුළ මද වේලාවක් නිදාගෙන ඇත.
නින්දෙන් ඇහැරීමෙන් අනතුරුව ලොරි රථය නවතා තිබුණු ස්ථානය ආසන්නයේ තිබුණු තේ කඩයක් වෙත පාගමනින් ව්‍යාපාරිකයා ගමන්කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහුව පැහැරගෙන ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි. එහිදී වෑන් රථයේ සිටි පිරිස ප්‍රශ්න කර ඇත්තේ ලොරි රථය නවතා ඇති ස්ථානය ගැනය. එහිදී බියට පත්වූ ව්‍යාපාරිකයා ලොරි රථය නවතා ඇති ස්ථානය ගැන පවසා ඇති බවත් එහිදී කැලෑබද ප්‍රදේශයක ව්‍යාපාරිකයාව අතහැර දමා ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
අනතුරුව ව්‍යාපාරිකයා ලොරි රථය නවතා තිබුණු ස්ථානයට පැමිණෙන විට එය අතුරුදන්ව ඇති බව දැක පොලීසියට මේ ගැන පැමිණිලිකර තිබේ.
ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ කුකුළු කෑම උර 125ක්, රුපියල් 19,000ක් අඩංගු මුදල් පසුමිබිය සහ ලොරි රථය සමඟ අස්ථානගතව ඇති බවය. ලොරි රථය සමඟ එම දේපොලවල වටිනාකම රුපියල් ලක්ෂ 37කට අධික බව ද එහිදී ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලීසිය පැය 24ක් යන්නට මත්තෙන් සැකකරුවන් සමඟ ලොරි රථයද සොයාගෙන ගැනීමට සමත්ව ඇත. පුත්තලම පොලිස් අධිකාරීවරයා විසින් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.