fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්ඩුබායි ගංවතුරට කෘතිම වැසි හේතුවක් වුනාද?

    ඩුබායි ගංවතුරට කෘතිම වැසි හේතුවක් වුනාද?

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට මේ සතියේ බලපෑ අධික වර්ෂාවත් සමඟින් මහා මර්ග, ගුවන් තොටුපල සහ නිවාස ජලයෙන් යටවී තිබූ අයුරු ලොව පුරා මාධ්‍ය වාර්තා කර තිබුණි.

    මෙම අයහපත් කාගුණය හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර ඉන් 19ක් ඕමානයෙන්ද තවත් එක් මරණයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද වාර්තා විය. මෙම තත්ත්වයත් සමඟ එක්සත් අරාබී එමීර් රාජ්‍ය බලධාරීන් විසින් එරට පාසල් වසා දැමීමටද පියවර ගෙන තිබුණි.

    මෙම කුණාටු තත්ත්වය ප්‍රථමයෙන්ම ඕමානයට ඉකුත් ඉරිදා බලපෑ අතර පසුව අඟහරුවාදා වන විට එය එක්සත් අරාබි එමීර් රාජ්‍යට බලපානු ලැබීය. මෙම තත්ත්වයත් සමඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන්ගමන් වලටද දැඩි බලපෑමක් එල්ල විය.
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැය විසි හතරක කාලයක් තුල මිලිමීටර් 254 එනම් අඟල් දහයක පමණ දැඩි වර්ෂාපතනයක් වාර්තා වූ අතර ඉන් වැඩිම බලපෑමක් ඕමාන දේශසීමාව ආසන්නයේ පිහිටි අල් අයින් නගරයට එල්ල වී තිබිණි. මෙම වර්ෂාව 1949 පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යට බලපෑ දරුණුතම වර්ෂා පතනයයි.

    කෘතිම වැසි මෙම කුණාටු තත්ත්වයට හේතුවක් වුනාද?

    එක්සත් අරාබි එමීර් රාජ්‍යට මෙන්ම අරාබි අර්ධද්වීපයට වැසි ලැබීම යනු ඉතා විරල සිදුවීමකි. මෙම තත්ත්වය හේතුවෙන්ම දැඩි වියල කාලගුණයකට හිමිකම් කියන අරාබි අර්ධද්වීපයේ උෂ්ණත්වය ඇතැම් අවස්ථා වලදී සෙල්සියස් අංශක 50 ඉක්මවා යෑම්ද වර්තා වේ.

    එවන් තත්ත්වයක් තුල එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සහ ඕමානයේ ජලාපවහන පද්ධති වර්ෂා ජලය ඉවත් කිරීමට ගැලපෙන පරිදි සකස්වී නොමැත. එබැවින් ඉතා කුඩා වැස්සකට පවා මෙම රාජ්‍යන් වල මාර්ග ජලයෙන් යටවීම ඉතාම සාමන්‍ය සිදුවීමකි.

    නමුත් ඉකුත් අඟහරුවාදා සිදුවීමත් සමඟ මෙම දැඩි කුණාටු තත්ත්වයට හේතුව කෘතිම වැසි ඇති කිරීමදැයි සැකයක් මතුව තිබණි. ඊට මූලිකම හේතුව වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පසුගිය කාලය පුරාම කෘතිම වැසි ඇති කිරීමට කටයුතු කිරීමයි.

    කෘතිම වැසි ඇති කිරීම යනු වලාකුළු මතට රසායනික ද්‍රව්‍ය ඉසීම මගින් වැසි තත්ත්වය වර්ධණය කිරීමයි. එමගින් වැසි අඩු පරිසර තත්ත්වයන් වලට ප්‍රමාණවත් වැසි ලබා ගැනීමට අපේක්ෂිතයි. මේ සඳහා විශේෂීත ගුවන් යානා භාවිතා කරන අතර එම වර්ගයේ ගුවන් යානා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සතුවන අතර ඊට අදාල තාක්ෂණික දැණුමෙන් සන්නද්ධ විද්‍යාඥයින් රැසක්ද සේවයේ යොදවා ගැනීමට ඔවුන් පියවර ගෙන ඇත.

    එවන් තත්ත්වයක් තුල මෙම අධික වැසි ඇතිවීම කෘතිම වැසි වල ප්‍රතිඵලයක් ලෙස උපකල්පනය කිරීමට සාධාරණ ඉඩක් පැවතියද එක්සත් අරාබි එමීර් රාජ්‍ය රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ කුණාටුවට පෙර කෘතිම වැසි ඇති කිරීමට අදාලව කිසිඳු ආකාරයකින් කටයුතු කර නොතිබුණු බවයි.

    අධික වැසි වලට හේතුව කාලගුණ විපර්යාසයද?
    දේශගුණික වර්පර්යාසය හේතුවෙන් දැඩි වෙනස් වීමකට ලක්වූ සමාන්‍ය කාලගුණ තත්ත්වයන් හේතුවෙන් මෙම දැඩි වර්ෂාපතනය ඇති වීමට වැඩි ඉඩක් පවතින බව විශේසඥයින් පෙන්වා දෙයි.

    ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ කාලගුණික තත්ත්වයන් පිළිබඳ විශේසඥයෙකු වන Esraa Alnaqbi පවසන පරිදි ඉහළ වායුගෝලයේ පැවති අඩු පීඩන තත්ත්වයත් සමඟ මෙම අධික වර්ෂා තත්ත්වය ඇතිවූ බවයි.

    එහිදී භූමියට ආසන්න වායු වල පැවති අධික උණුසුම් තත්ත්යත් ඉහළ වායුගෝලයේ පැවති සීතල තත්ත්වයත් අතර ඇති වූ වෙනස වර්ධණයත් මීට බලපා ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව මෙම තත්වයන්ට මූලික හේතුව කාලගුණ විපර්යාසය බවද විද්‍යාඥයින් පෙන්වා දෙයි.

    මේ අතර ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි දේශගුණ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ෆ්‍රෙඩ්රික් ඔටෝ පවසන්නේ කාලගුණ විපර්යාසයත් සමඟ ලොවපුරා අධික වැඩි තත්ත්වයන් ඇති වීමට ඉඩ පවතින බවයි. ඒ අනුව කෘතිම වැසි ඇති කිරීම මගින් මෙවැනි අධික වර්ෂා තත්ත්වයන් ඇති විය හැකි බවට පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවද ඇය පෙන්වා දෙයි.

    ඇය පවසන පරිදි කෘතිම වැසි ඇති කිරීම කිසිඳු සාධකයක් නොමැති සිදු කළ නොහැකිය. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට බලපෑ දැඩි වර්ෂා තත්ත්වය කාලගුණ විපර්යාසයේ සෘජු ප්‍රතිඵලයක් විය හැකි බවත් ඊට කෘතිම වැසි වල සම්බන්ධතාවයක් නොමැති බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.