fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඝාතනයකට සූදානම් වූ සැකකරුවන් 3ක් STF අත්අඩංගුවට

    ඝාතනයකට සූදානම් වූ සැකකරුවන් 3ක් STF අත්අඩංගුවට

    මනුෂ්‍ය ඝාතනයක් සඳහා පාතාලය විසින් සගවා තිබූ T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් සැකකරුවන් තිදෙදෙනක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සමත්විය.

    මෙම ගිනි අවියේ පතොරම් 14ක් සහිත මැගසිනයක්ද තිබී ඇති අතර ඊට අමතරව කඩුවක් සහ කිනිස්සක්ද සොයාගෙන තිබේ.

    උපරිමාධිකරණ සංකීර්ණය ආසන්නයේ ඇති වනලොක්ගෙට්ලේන් ප්‍රදේශයේ ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථානය පිටුපස නිවසක වහලය පිටුපස මෙම ගිනි අවිය සඟවා තිබී ඇත.

    ගමන්මල්ලක බහා මෙම ගිනි අවිය සඟවා තිබී ඇත්තේ මිනිස් ඝාතනයක් සඳහා බවට තොරතුරු විශේෂ කාර්ය බලකායට ලැබී තිබේ.

    මෙම ගිනි අවිය සමඟ මරදාන, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18, 34, 47 ක් වන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මේ අය කෙසෙල්වත්තේ ධනුක නැමැති පාතාල අපරාධකරුගේ ගෝලබාලයින් බවට තොරතුරු අනාවරණය වී ඇත. ධනුක සිටින්නේ රටින් බැහැරවය.

    මෙම T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවිය හා තියුණු අවිආයුධ කොළඹ ලොක්ගෙට්ලේන් හා කෙසෙල්වත්ත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් අදාල ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල සාමාජිකයින් වෙඩි තබා කපාකොටා ඝාතනය කිරීම සදහා මෙම ස්වයංක්‍රීය ගිනිඅවිය හා තියුණු ආයුධ මෙම ස්ථානයේ සඟවා ඇති බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය කරගෙන ඇත.

    පොලිස්පතිතුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමකර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.