fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උමා ඔයෙන් මෙගාවොට් 120ක විදුලි බලයක් ජාතික පද්ධතියට

    උමා ඔයෙන් මෙගාවොට් 120ක විදුලි බලයක් ජාතික පද්ධතියට

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක දායකත්වයක් මෙම මස අවසන් වන විට එක් කිරීමට නියමිතය.

    උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අප්‍රේල් මස අගභාගයේ දී විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇතැයි වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

    අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා (05) වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

    උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය 2011 වසරේ ආරම්භ කළ අතර ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 513 ක් ‍‍වේ.

    එම මුදල ඉරාන රජයේ ණය ආධාරයක් ලෙස ලැබීමට නියමිතව තිබූ අතර එහෙත් ඉරාන රජයට බලපෑ සම්භාදක ගැටළුව හේතුවෙන් එරට ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්විය. ඒවන විටත් අමෙරිකානු ඩොලර් මිලියන 50ක පළමු වාරිකය ලැබී මෙම බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කර තිබූ හෙයින්, එය අතරමග නවතා නොදමා ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන මත උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව සිදුකෙරිණ.

    උමාඔය ව්‍යාපෘතිය හරහා පුහුල්පොල සහ ඩයබරා ජලාශයන්හි වේලි ඉදිකර එහි ගබඩාවන ජලය, කිලෝමීටර් 23ක් වූ උමං මාර්ගයක් ඔස්සේ, භූගතව ස්ථානගත කර ඇති ටර්බයින් යන්ත්‍ර දෙකක් වෙත රැගෙන ඒම සිදුවේ. ඒ මගින් ජල විදුලබලය නිෂ්පාදනය වන අතර, මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් මේ හරහා ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ.

    විදුලිබල උත්පාදනයෙන් පසු එම ජලය අලිකොට ආර, හඳපානාගල හා කුඩාඔය ජලාශ දක්වා රැගෙන ඒම සිදු‍වේ. ඒ මගින් පැරණි හා නව කුඹුරු අක්කර 20,000කට යල සහ මහ දෙකන්නය සඳහාම ජලය සැපයීම සිදුකෙරේ.

    කිරිඳිඔය ද්‍රෝණිය හරහා ඌව වෙල්ලස්ස ගොවි බිම් සශ්‍රීක කරමින් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක වල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ද පූර්ණ කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.