fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"ව්‍යවස්ථාවේ මොන වගන්තිය තිබුණත් ජාතීන් අතර ගැටුම් තියෙනවා නම් වැඩක් නෑ"

    “ව්‍යවස්ථාවේ මොන වගන්තිය තිබුණත් ජාතීන් අතර ගැටුම් තියෙනවා නම් වැඩක් නෑ”

    ජාතීන් අතර ආගම් අතර සමගිය එකමුතුභාවය සුරක්ෂා කරමින් අප රටක් ලෙස අප එකට ජීවත් විය යුතු බවත් සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ලෙස වෙන් නොවිය යුතු බවත් විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්ති තිබුණත් ජාතීන් ආගම් අතර ගැටුම් තිබේ නම් වැඩක් නොමැති නිසා ජාති ආගම් කුල පක්ෂ භේදයකින් තොරව අධ්‍යාපනයට මුල්තැන ලබා දී මෙරට අධ්‍යාපනය ඉහළට ඔසවා තබන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

    කිසිම ජාතියකට තවත් ජාතියක් විනාශ කරන්න අයිතියක් නොමැති බවත් කිසිම ආගමකටද තවත් ආගමක් විනාශ කරන්න අයිතියක් නොමැති බවත් සෑම ජාතියකටම සංස්කෘතියකටම තමන්ගේ අනන්‍යතාව සුරක්ෂා කර ගනිමින් අපගේ මාතෘභූමිය තුළ සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් එකට ජීවත් විමේ අයිතිය ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 137 වැනි අදියර යටතේ වන්නි දිස්ත්‍රික්කය, වව්නියාව, ශ්‍රී නාගරාජ විද්‍යාලයට. රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

    සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇත. ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 137ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1379ක් වැය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.