තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF ගැන ජනපති කැඳවූ සාකච්ඡාවට විපක්ෂයෙන් එක්කෙනයි

    IMF ගැන ජනපති කැඳවූ සාකච්ඡාවට විපක්ෂයෙන් එක්කෙනයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන සම්බන්ධ විශ්ලේෂණාත්මක දත්ත වාර්තා අද දින සාකච්ඡාව සඳහා සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයටත්, පාර්ලිමේන්තුවටත් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

    ඊට අදාළ සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ද ජනාධිපතිවරයා කියාසිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකර ඇති විශ්ලේෂණාත්මක දත්ත සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසූ අවස්ථාවේදී ය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති අවස්ථාවේදී ය.

    මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා එක්ව සිටියේය.

    කෙසේවෙතත් මේ සඳහා ඇරයුම් කර තිබූ සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මෙම සාකච්ඡාවට සහබාගි නොවීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් රජයේ කැපවීම මෙහිදී අවධාරණය කර ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙම යෝජනා පිළිබඳ තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවකට ආරාධනා කරන බව ද පැවසීය.

    එම සාකච්ඡා සඳහා සහභාගි වීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ දී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සාධනීය සහ නිවැරදි වැඩපිළිවෙලක් වෙනුවෙන් තම සහාය ලබාදෙන බවද පැවසීය.

    ද්විපාර්ශ්වික ණය හිමියන්, වාණිජ ණය හිමියන් සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ සිදු කෙරෙමින් පවතින සාකච්ඡා පිළිබඳ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් මෙහිදී පුළුල් පැහැදිලි කිරිමක් සිදුකර ඇත.

    මේ වසරේ ජූනි මාසය අවසන් වන විට මෙම සාකච්ඡා මාලාව අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාලන විනිශ්චය සම්බන්ධයෙන් වන වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා පුළුල් ව්‍යුහාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img