fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරක් කටාව CIDයෙන් පන්නන්න හැදූවාට තවත් සැරයන්වරයෙකු කොටු

    හරක් කටාව CIDයෙන් පන්නන්න හැදූවාට තවත් සැරයන්වරයෙකු කොටු

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින පාතාල කල්ලි නායකයෙකු මෙන්ම ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ කල්ලිය සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ බව කියන පොලිස් සැරයන්වරයෙකුව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායාමට කළ උත්සහය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේදී මෙම සැරයන්වරයා ගැන තොරතුරු හෙළිවී තිබේ.

    මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගමදී ඊයේ දහවල් කාලයේදීය. අවුරුදු 36ක් වයසැති මෙම සැරයන්වරයා අහංගම දික්කුඹුර පදිංචිකරුවෙක් බව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය සඳහන් කරයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිහිසුන්කර හරක් කටා පැන්නීමට සිදුකළ සැළසුම ව්‍යාර්ථ වීමෙන් අනතුරුව ඒ ගැන පූර්ණ විමර්ශනයක් පැවැත්වීමේ කටයුතු පොලිස්පතිවරයා විසින් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශයට පවරනු ලැබීය. එම විමර්ශනයේදී හිමිකරුවෙක් නොමැති යතුරුපැදියක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීශ්‍රයේ තිබී සොයා ගන්නා ලදි. ඉන්ධන ටැංකිය පිරෙන්නට ඉන්ධන පුරාවා තිබුණු එම යතුරුපැදියේ හෙල්මට් දෙකක්ද තබා තිබී ඇත. යතුරුපැදියේ චැසි හා එංජින් අංකද තිබී ඇත්තේ මකා දමාය. විමර්ශන වලින් හෙළිවී තිබී ඇත්තේ මෙම යතුරුපැදියේ නැගී හරක් කටා පැන යාමට සැළසුම්කර තිබී ඇති බවය. ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ යතුරුපැදි හිස් වැසුම රැගෙන ඒමට සුද්දා නැමැති අයෙක් සම්බන්ධ වී ඇති බවය. එම පුද්ගලයා මේ වන විට පදිංචි ස්ථානයද අතහැර පළාගොස් සැඟවී සිටින බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    දුරකථන ජාල විශ්ලේෂණයේදී හෙළිවී ඇත්තේ මාතර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශන අංශයේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකු හා සුද්දා නැමැති සැකකරු අතර සම්බන්ධයක් ඇති බවය. ඒ ගැන වැඩිදුර විමර්ශනයේදී හෙළිවී ඇත්තේ හරක් කටාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ මහ මොළකරු ලෙස හදුනාගෙන සිටින මේ වන විට ඩුබායි හී රැදී සිටින ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් සමඟ මෙම සැරයන්වරයා වට්ස්ඇප් මගින් සම්බන්ධකම් පවත්වමින් සිටින බවය. සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.