පවුල් ආරවුලක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් විභාග කළ පොලිස් නිලධාරියෙක් සිය බිරිඳ සමඟ හිතවත්කමක් ගොඩනගාගෙන අනවශ්‍ය ලෙස පවුලේ කටයුතුවලට මැදිහත්වීම හේතුවෙන් බිරිඳ තමාව අතහැර ගිය බව සඳහන් කරමින් පුද්ගලයෙක් නාරාහේන්පිට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.
නාරාහේන්පිට උද්‍යාන පාරේ ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක පදිංචිව සිටින 33 හැවිරිදි පුද්ගලයෙක් විසින් මෙම පැමිණිල්ල කර තිබේ.
සිය බිරිද අතහැර යාම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා චෝදනා කරනු ලබන්නේ ද නාරාහේන්පිට පොලීසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට එරෙහිවය.
නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙත ඊයේ සවස පැමිණ ඇති මෙම පුද්ගලයා පවසන්නේ මීට වසර දෙකකට පෙර පවුල් ආරවුලක් සම්බන්ධයෙන් තමා නාරාහේන්පිට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළ බවය. එම විභාග කර ඇත්තේ කොස්තාපල්වරයෙකි. එහිදී සිය බිරිඳ සමඟ එම තරුණ කොස්තාපල්වරයා හිතවත්කමක් ගොඩනගාගෙන ඇති බවද ඔහු සිය පැමිණිල්ලෙහි දක්වා ඇත. ඔවුන් දෙදෙනා නිතර දුරකථන සංවාද වලද යෙන බවද ඔහු සිය පැමිණිල්ලෙහි දක්වා තිබේ.
සිය බිරිඳ මානසික රෝගී තත්ත්වයකින් පෙළන අයෙක් බවත් පොලිස් නිලධාරියා සමඟ පවතින සම්බන්ධය සුදුසු නොවන බව බිරිඳට තමා පෙන්වා දුන් බවත් ඔහු පොලීසියට පවසා ඇත. එහිදී බිරිඳ විසින් තමාට පහරදී නිවසින් පිටවූ බවත් පොලිස් නිලධාරියා සිය පවුලට අනවශ්‍ය ලෙස මැදිහත්වීම හේතුවෙන් නොතිබුණු පවුල් ආරවුලක් ඇතිවූ බවත් එම පැමිණිල්ලෙහි ඔහු වැඩිදුරටත් සඳහන්කර තිබේ.