මත්ද්‍රව්‍ය සමඟ දඹුල්ල පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් සිටි සැකකරුවෙක් අධිකරණ සිරමැදිරියෙන් පළාගොස් ඇත.
දඹුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව දූෂණ මර්දන අංශයේ උසාවි කටයුතු භාර සැරයන්වරයා ඊයේ දින විභාග වීමට නියමිත නඩු සඳහා ඉදිරිපත් කළ යුතු සැකකරුවන් සිව් දෙනෙක් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගොස් තිබේ. උසාවියේදී එම සැකකරුවන්ගේ අත්විලංගු ගලවා ඉවත්කර ඔවුන්ව අධිකරණයේ ඇති සිරමැදිරියේ දමා අගුල් දමා ඇත.
මෙම සැරයන්වරයා අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බී. වාර්තා උසාවි භාර නිලධරියාට භාරදීමට ගොස් නැවත පැමිණෙන විට සිරමැදිරියේ අගුල් විවෘතකර ඇති බව දැක තිබේ. එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී රැගෙන පැමිණි එක් සැකකරුවෙක් පළාගොස් ඇති බව අනාවරණය වී ඇත.
පළාගොස් ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 2650ක් සමඟ අත්අඩංගුවට ගෙන සිටි දඹුල්ල කණ්ඩලමේ පදිංචිකරුවෙක් වූ 34 හැවිරිදි වියේ පසුවන්නෙක් බව පොලීසිය කියයි.