මාලදිවයින සිට කටුනායක ගුවන්තොටුපල අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාව ලබන මාර්තු මස 01 දා සිට ආරම්භ කීරීමට තීරණය කර තිබේ.
මාලදිවයිනේ වෙසෙන ජනතාවට සිදුවන හදිසි අනතුරු සහ රෝගාතුර වීම් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ශ්‍රි ලංකාවට කඩිනමින් පැමිණීමට අවශ්‍ය ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ දෙරටේ අවධානය යොමුවීමත් සමඟ මෙම පියවර ගෙන ඇත්තේ අදාළ වැඩපිළිවෙලේ පළමු අදියර ලෙසයි.
මාලදිවයිනේ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් මහතා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (30) පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා විය.
මේ දක්වා මාලදිවයින් වැසියන් හදිසි ප්‍රතිකාර ලබාගැනීමට ඉන්දියාවට රැගෙන ගිය බව මාලදිවයින ගුවන්සේවා අමාත්‍යවරයා කියාසිටියේය.
එහෙත් ශ්‍රි ලංකාවේ හදිසි ප්‍රතිකාර කටයුතුවල ගුණාත්මකභාවය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එවැනි රෝගීන් ශ්‍රි ලංකාවේ රෝහල්වලට ප්‍රතිකාර සඳහා එවීමට මාලදිවයින් රජය තීරණය කර ඇති බවයි.
මේ අනුව ගිලන් ගුවන් සේවාවට අදාළ කටයුතු සඳහා අවශ්‍ය සියලු අනුමැතිය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගුවන් තොටුපල සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ බලධාරීන්ට ලබා දී ඇත.
ඒ සඳහා කටුනායක ගුවන්තොටුපලේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමටත්, එම ඒකකය සඳහා අවශය සියලු පහසුකම් ලබා දීමටත්, කටයුතු කරන ලෙසට අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාට උපදෙස් දෙන ලදී.
ඉදිරියේදී රත්මලාන ගුවන් තොටුපල සහ මාලේ අතර මෙවැනිම සේවාවක් ආරම්භ කිරීමටද මෙම සාකච්චාවේදී තීරණය විය.