ෆේස්බුක් සමාජ ජාලයෙන් දැන හදුනාගත් කාන්තාවක් සමඟ නුවරඑළිය බඹරකැලේ පිහිටි ඛනිජ තෙල් සංස්ථා නිවාඩු නිකේතනයට ගිය ඛනිජ තෙල් සංස්ථා සේවකයෙකු සිහිසුන් කර ඔහු පැළද සිටි රුපියල් ලක්ෂ 37කට අධික වටිනාකමක් ඇති රන්භාණ්ඩ සමඟ රුපියල් 35,000ක මුදලක් සොරාගෙන ගොස් තිබේ.
මෙම සොරකම පසුගිය 23 වෙනිදා සිදුව ඇති අතර ඒ ගැන ඛනිජ තෙල් සේවකයා නුවරඑළිය පොලීසියට පැමිණ පැමිණිලිකර ඇත්තේ ඊයේ ය.
කාංචනා දිසානායක නමින් ෆේස්බුක් සමාජ ජාලයේ පෙනී සිටින ඇය සමඟ අනියම් සම්බන්ධයක් ගොඩනගාගෙන ඇයව නුවරඑළියේ නිවාඩු නිකේතනයකට රැගෙන ගොස් ඇත්තේ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අවුරුදු 53ක් වයසැති අයෙකි.
ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රවාහන අංශයේ සේවයේ නිරතව සිටින ඔහු කලක් අමාත්‍යවරයෙකුගේ රියදුරෙක් ලෙසට සේවයේ නිරතව සිටියෙක් බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
නුවරඑළිය බඹර කැලේ පිහිටි ඛනිජතෙල් තෙල් සංස්ථා නිවාඩු නිකේතනය ඔහු කල්තියා වෙන්කරවාගෙන ඇයව 23 වෙනිදා එහි රැගෙන ගොස් ඇත. ඇය එහිදී මෙම සේවකයාට සවස 2.00ට පමණ බීමට යමක් දී ඇත. එම බීම වර්ගය පානය කිරීමෙන් පසු සිහිසුන් වූ ඔහු ඇහැරී ඇත්තේ රාත්‍රී 8.00ට පමණය.
ඇහැරී බලන විට ඔහු කාමරයේ තනියම සිට ඇති අතර කරේ තිබුණු රන් මාලයත්, අතේ පැළද සිටි පවුම් 10ක් පමණ වූ රන් අත්පළදනාවත්, මුදු 03ක් ඇතුළු පවුම් 20ක පමණ වූ රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බව පෙනී ගොස් තිබේ.
ඒ හැරුණු කොට අත්ඹරලෝසුවත්, ජංගම දුරකථනයත්, මුදල් පසුම්බියේ තිබුණු රුපියල් 35,000ක මුදලත් අතුරුදන්ව තිබී ඇත.
තමා සමඟ පැමිණි කාන්තාව ගැන සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ ඇය නිවාඩු නිකේතනයෙන් ඇය රැගෙන පැමිණි ඇදුම් පැළදුම්ද රැගෙන පළාගොස් ඇති බවය. ඇගේ ජංගම දුරකථනය පවා තිබී ඇත්තේ ක්‍රියා විරහිත කර ය.
මේ ගැන පොලීසියට පැමිණිලි කිරීමට ලැජ්ජාවෙන් සිටි ඔහු පසුව ඊයේ නුවරඑළිය පොලීසියට පැමිණිලිකර ඇත්තේ මුහුණු පොතේ ඇති ඇගේ ඡායාරූපයක්ද ලබාදෙමිනි.