fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"සජබ ආණ්ඩුවකින් ඔන්ලයින් පනත ඉල්ලා අස්කර ගන්නවා"

    “සජබ ආණ්ඩුවකින් ඔන්ලයින් පනත ඉල්ලා අස්කර ගන්නවා”

    රජය මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත අනුමත කරගත්තේ මැතිවරණ වසරක් තුළ රාජ්‍ය කේන්ද්‍රීය මර්දන ක්‍රියා ක්‍රියාත්මක කර රටේ පොදු ජනතාවගේ දේශපාලන අයිතිය කොල්ලකෑමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මේ පනත හරහා මේ රටේ සුවහසක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා චෝදනා කර සිටී.

    සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධාන රජයක් තුළ මේ පනත අහෝසි කිරීම ප්‍රමුඛ කාර්යභාරයක් බව හෙතෙම අවධාරණය කළේය.

    ත්‍රස්තවාදීයා සහ දේශප්‍රේමියා කවුද කියා තීරණ කිරීමට දේශපාලන අධිකාරියට හැකියාව ලැබෙන බවත් දේශපාලන මත දැරීමේ අයිතිය සහමුලින්ම උල්ලංඝනය වන බවත් විපක්ෂ නායකවරයා කීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාර්ගගත සුරක්ෂිතතාව සම්බන්ධ පනත පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    සාධාරණ නියාමනයක් වෙනුවෙන් සමගි ජන බලවේගය පුනපුනාම අදහස් පළ කළ බවත් විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් යෝජනා ලබා ගෙන එවැනි නියාමන පද්ධතියක් සිදු කරන්නැයි කියා සිටියත් ඒ සදහා ලබා දුන්නේ සීමිත කාලයක් බවත් පාර්ශ්වකරුවන් නාමිකව සාකච්ඡාවලට කැඳවා රජයට අවශ්‍ය දේ සිදු කර ජනතාවගේ නිදහස් ස්වාධිනව තීන්දු තීරණ ගැනීම සහ පොදුජන අයිතීන් උල්ලංඝනය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධාන රජයක් තුළ මේ පනත අහෝසි කිරීමෙන් පසු ජනතාවට යහපත් රටට යහපත් මානව අයිතීන් සුරක්ෂිත වන මානව නිදහසට ඉඩ ලබා දෙන සත්‍ය මත පදනම්ව තොරතුරු ලබා දීම ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය යථාර්ථවාදී සත්‍යවාදී ප්‍රායෝගික ප්‍රගතිශීලී නියාමනයක් සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරනය කළේය.

    එසේම මේ අනුමත කර ගත් පනත හරහා රජයට තාවකාලික සැනසීමක් ලබා ගත හැකි බවත් එය මාස කිහිපයකට පමණක් සීමා වන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ජන පීඩක මෙම පනත ඉල්ලා අස් කර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.