පූනෑව සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණ, නැවත පූනෑව දක්වා ගමන් කර, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික සමන් කුමාර සිරිවර්ධන මහතා සමත් වී තිබේ.
ඒ කිලෝමීටර් 586.1 ක් දුරක් දින 07යි පැය 11යි මිනිත්තු 17යි තත්පර 14කින් තුළදී ඇවිද යාමෙනි.
ඔහු මෙම ඇවිදීම අවසන් කරමින් වාර්තාව සනිටුහන් කරන ලද්දේ ඊයේ(19) දිනයේ ය.
ඒ අනුව, මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයෙකු විසින් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා දින 10 යි පැය 12 යි මිනිත්තු 02 කින් කිලෝමීටර් 580.16 ක් ඇවිද පිහිටුවන ලද ශ්‍රී ලංකා වාර්තාව පසු කරමින් නව වාර්තාවක් පිහිටුවීම මෙලෙස සිදුකෙරිණි. එම වාර්තාව තබන ලද්දේ 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 17 වන දින ය.
නායක ඉංජිනේරු කාර්මික සමන් කුමාර සිරිවර්ධන මෙම වාර්තාව පිහිටුවීම සඳහා 2024 ජනවාරි මස 12 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය නාවික හමුදා කඳවුරේ සිට අනුරාධපුරය, පුත්තලම මාර්ගයෙන්, කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා දින 04 කින් ළඟා වූ අතර, නැවත නිදහස් චතුරශ්‍රයේ සිට කඩවත, වරකාපොල, පොල්ගහවෙල, කුරුණෑගල, දඹුල්ල, මිහින්තලේ මාර්ගය ඔස්සේ පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය නාවික හමුදා කඳවුර අසලින් 2024 ජනවාරි මස 19 වන දින සන්ධ්‍යාවේ ජයග්‍රාහි ලෙස අවසන් කර, මෙම නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් විය.
නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ, නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමේ පා ගමන, ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණ දායකත්වයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විනිශ්චය දායකත්වයෙන් සිදුකෙරිණි. ඒ අනුව, මෙවැනි වාර්තා පිහිටුවීමේ ක්‍රියා පිළිවෙතට අනුව එක් දිනක් තුල ඇවිදීම සිදුකල හැකි උපරිම පැය ගණන පැය 12 කි. එම නිර්ණායකයන්ට අනුකූලව සාර්ථකව සිය ඉලක්කයට ළඟාවූ නායක ඉංජිනේරු කාර්මික සමන් කුමාර සිරිවර්ධන, දින 07 යි පැය 11 යි මිනිත්තු 17 යි තත්පර 14 කින් කිලෝමීටර් 586.1 ක් ඇවිද මෙලෙස නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සිදුකෙරිණි.
ඉතාමත් ධෛර්යවන්තව හා අධිෂ්ඨානශීලීව තම අරමුණ වෙත ගමන් කරමින්, නායක ඉංජිනේරු කාර්මික සමන් කුමාර සිරිවර්ධන විසින් තබන ලද මෙම නව ශ්‍රී ලංකා වාර්තාව තුලින් නාවික හමුදාවට විශාල කීර්තියක් මෙන්ම, මවිබිමට ඉමහත් අභිමානයක් ගෙනදීමට සමත් විය.
තවද, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට අදාළ සහතිකය නායක ඉංජිනේරු කාර්මික සමන් කුමාර සිරිවර්ධන වෙත පිරිනැමීම පා ගමන අවසානයේදී උත්සවාකාරයෙන් සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, පා ගමන පූර්ණ අධීක්ෂණය කළ ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයින් හා විනිශ්චය සිදුකල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් සහ නායක ඉංජිනේරු කාර්මික සමන් කුමාර සිරිවර්ධන ගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් පිරිසක් සහභාගී වී සිටියහ.








