fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රේගුවේ වාහන පෙන්වා ජනපති ආරක්ෂක අංශයේ හිටපු කොස්තාපල් ගහපු ගේම

    රේගුවේ වාහන පෙන්වා ජනපති ආරක්ෂක අංශයේ හිටපු කොස්තාපල් ගහපු ගේම

    රේගු භාරයේ ඇති වාහන අඩු මිලට ලබාදෙන බව සඳහන් කරමින් රුපියල් කෝටි ගණනක් වංචාකර සැඟව සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිටදී කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරුට එරෙහිව ලද පැමිණිලි 04ක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාලව මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය. මෙම පැමිණිලි 04ට අදාලව සිදුව ඇති වංචාව රුපියල් ලක්ෂ 256ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    මෙම සැකකරු 2008 වසරේ සැත්තැම්බර් 09 වෙනිදා පොලිස් සේවයට බැදී ඇත. ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබා මුල්ම පත්වීම ලබා ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයට ය. 2022 වසර දක්වාම ඔහු සේවයේ නිරතව සිට ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේය. 2022 වසරේ අගෝස්තු මාසයේදී ඔහුට ස්ථානමාරුවක් ලැබී ඇත. එම ස්ථාන මාරු නියෝගයට අනුව ඔහු නව ස්ථානයට වාර්තා නොකර සිටීම හේතුවෙන් 2022 අගෝස්තු 31 වෙනිදා සේවය අතහැර යාමේ නියෝගයක් ඔහුට නිකුත්කර ඇත.

    බදුල්ල කහටරුප්ප කිරිමින්ගොල්ලේ පදිංචි කරුවෙක් වන අසංග සංජීව බණ්ඩාර නැමැති 34 හැවිරිදි මෙම සැකකරුගේ වංචාවට හසුවී කුරුණෑගල ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙක් රුපිියල් ලක්ෂ 85ක මුදලක්ද අහිමිකරගෙන ඇති බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. එම මුදල් වංචාව සිදුව ඇත්තේ වෑන් රථයක් ලබාදෙන බව සඳහන්කරමිනි. මෙම ගුරුවරයා මෙම සැකකරුට හසුවී මුදල් ලබාදී ඇත්තේ 2023 වසරේ නොවැම්බර් 07 වෙනිදාය.

    එදිනම මෝටර් රථයක් ලබාදෙන බව සඳහන් කරමින් රුපියල් ලක්ෂ 90ක් ව්‍යාපාරිකයෙකුට වංචාකර ඇති බවද කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය. එම වසරේම නොවැම්බර් 14 වෙනිදා කැබ් රථයක් ලබාදෙන බව සඳහන් කරමින් රුපියල් ලක්ෂ 53ක් ද වංචාකර ඇති බවත් මෙම වසරේ ජනවාරි 12 වෙනිදා මෝටර් රථයක් ලබාදෙන බව සඳහන් කරමින් ව්‍යාපාරිකයෙකුගෙන් මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ 28ක මුදලක් වංචාකර ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

    මෙම පුද්ගලයා මෙම වංචාවන්කර ඇත්තේ ශ්‍රී ලංකා රේගු මූලස්ථාන රථ ගාල තුළදීය. ව්‍යාජ ලේඛන හා වාහන වල ඡායාරූප පෙන්වමින් මෙම සැකකරු රේගුව තුළට ගොස් පැමිණ රේගුව සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති අයෙක් බව පෙන්වමින් මෙම වංචාව කර ඇති බවද කොළඹ වංචා විිමර්ශන කාාර්යංශය සඳහන් කරයි.

    රුපියල් ලක්ෂ 150ක් පමණ වටිනා වාහන ලක්ෂ 90 ක් වැනි මුදලකට ලබාදෙන බව සඳහන් කරමින් මෙම වංචාව මෙම පුද්ගලයා විසින් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මෙම පුද්ගලයා සැඟව සිට ඇත්තේ කොල්ලුපිටියේ පිහිටි ජුලියානා හෝටලයේ කාමරයක් කුළියට ගෙන එහි රැදී සිටිමිනි. එම කාමරයට ඔහු රුපියල් 6000ක පමණ මුදලක් දිනකට ගෙවන බවත් අනාවරණය වී තිබේ.

    එම හෝටල් කාමරයද වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇත. එම කාමරයේ තිබී රුපියල් 71,500ක මුදලක් ද ජංගම දුරකථන 02ක්ද සොයාගෙන ඇත. මෙම සැකකරු සන්තකයේ තිබී කොළඹ ප්‍රධාන සමාජ ශාලා කිහිපයක සාමාජික කාඩ්පත් බැංකු කිහිපයක කාඩ්පත්ද තිබී හමුවී තිබේ.

    කැෂිනෝ ගැසීමට තදින් ඇබ්බැහි වී සිටින පුද්ගලයෙක් වන මෙම සැකකරු වංචාකර උපයාගන්නා මුදල් වැයකර ඇත්තේ කැෂිනෝ ගැසීමට බවද අනාවරණය වී ඇත. අත්අඩංගුුවට ගැනීමට දින 03කට පෙර රුපියල් කෝටි 03ක මුදලක් කැෂිනෝ ගසා ජයග්‍රාහණයකර ඇති බවත් එම මුදල් ණයකරුවන්ට ගෙවා දැමූ බවත් ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත.

    මෙම සැකකරු රාත්‍රී සමාජ ශාලාව අසල ගැවසෙන බවට කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

    මෙම සැකකරු විසින් සිදුකර ඇති තවත් මෙවැනි වංචා සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරන බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය. සැකකරුගේ තොරතුරු සමඟ ඡායාරූපයක්ද දිවයින පුරා පිහිටි පොලිිස් ස්ථානවෙත යොමු කිරීමටද පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img