fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මම රටේ ක්‍රිකට් බ්‍රෑන්ඩ් එක හදනවා" -අර්ජුන (📹)

    “මම රටේ ක්‍රිකට් බ්‍රෑන්ඩ් එක හදනවා” -අර්ජුන (📹)

    ශ්‍රී ලංකාවේ දැනට සිටින ජාතික කණ්ඩායමත් සමඟ තමා රටේ ක්‍රිකට් ක්‍රීඩාව හදන බව ක්‍රිකට් නව අන්තර් පාලන මණ්ඩලයේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි.

    තමාගේ අවධානය යොමුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත් පරිපාලනය පිළිබඳ අනෙක් සාමාජිකයින් විසින් කටයුතු කරනු ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ ය.

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සන්නාමයක් බවට පත්කොට, රටට ආදරය කරන ක්‍රීඩකයින් පිරිසක් සාදාගැනීම තම මුලික කටයුත්ත බවද ඔහු කියයි.

    මේ අතර ඉතා ඉක්මනින්ම නැවත වරක් ජයග්‍රහණ ලබාගැනීමට හැකි තත්ත්වයට ක්‍රිකට් ක්‍රීඩාව පත් කළ යුතුව ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

    මෙතෙක් සිදුව ඇති වංචා දුෂණ පිළිබඳව සොයාබැලීමට සහ ක්‍රීඩාව ස්ථාවර කර නැවතත් ක්‍රිකට් ජයග්‍රහණ කරා ඉක්මනින් අවතීර්ණ වීම අතුරු කමිටුව පත්කිරීමේ මුලික අරමුණ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

    පරිපාලනය, ක්‍රිකට් සංවර්ධනය, නීතිය යන අංශ සඳහා අනුකමිටු පත්කර ඉදිරි කටයුතු සිදුකිරීමට සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා කීය.

    අතුරු කමිටු සභාපතිවරයා ලෙස සුදුසුම පුද්ගලයා පත් කර ඇති බවත් සෙසු සාමාජිකයින් එහි කාර්යභාරය ඉටු කිරීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    “මම හිතන්නේ මේ කමිටුවේ සභාපතිවරයා ලෙස නියම කෙනා පත්වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය කාලසීමාව තුළ සිදුවූ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කර තිබෙනවා.

    “පළමු දේ ක්‍රිකට් ක්‍රීඩා කර නැවත ඉදිරියට යාමේ අභියෝගය ජය ගැනීමයි. සුදුස්සන්ට තනතුරු දීලා තියෙනවා. මම හිතනවා මේ රටේ ජනතාව මාත් එක්ක එකඟ වෙයි කියලා.” යැයි රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) උදෑසන මැතිඇමතිවරුන් හමුවේ ප්‍රකාශ කළ බවට වාර්තා පළවිය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.