පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට ඔත්තු බැලූ බව කියන පාතාලයේ අපරාධකරුවෙකු අද අලුයම් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්ව ඇත.
මෙසේ මරුමුවට පත්ව ඇත්තේ ඩුබායි හී මේ වන විට රැදී සිටින කරන්දෙණියේ සුද්දා නැමැති පාතාලයේ ප්‍රබලයාගේ ගෝලයෙක් බව කියන හෙනේගොඩගේ සංජීව ප්‍රේමකුමාර සිල්වා නැමැති වයස අවුරුදු 42 ක් වන පුද්ගලයෙකි. මෙම පුද්ගලයා ජමිබුගහවත්ත, වාද්දූව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ගාල්ල මහාධිකරණ භූමියේදී පසුගිය සඳුදා බාලේන්ද්‍රසිංහ මහතාව ඝාතනය කිරීමට මෙම පාතාල අපරාධකරු මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් අතැතිව සිට ඇති බවට තොරතුරුද විශේෂ කාර්ය බලකායට ලැබී තිබේ.
එදින උදෑසන කාලයේ බාලේන්ද්‍රසිංහ මහතා පැමිණ නොමැති බවත් එබැවින් එම ඉලක්කය වැරදී ගොස් ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.
බාලේන්ද්‍රසිංහ මහතා එදින සවස අධිකරණය හමුවට ඉදිරිපත්ව සවස නිවස බලා යමින් සිටියදී කරන්දෙණිය සුද්දා විසින් යෙදූ වෙනත් කණ්ඩායමක් විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණි.
එම වෙඩික්කරුවාවද මේ වන විට සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.
මෙසේ විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයෙන් ඝාතනය වූ පාතාල අපරාධකරු ලියාපදිංචි අපරාධකරුවෙක් මෙන්ම කමාන්ඩෝ බලකායෙන් පළාවිත් සිටින සෙබලෙක් බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය i හි නිලධාරීන්ට ලද තොරතුරකට අනූව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු හා විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අතර සිදු වූ වෙඩි හුවමාරුවක් සිදුව ඇත. එහිදී බරපතල තුවාල ලබා බලපිටිය මූලික රෝහලට සැකකරු ඇතුලත් කිරීමෙන් පසුව ඔහු මියගිය බව විශේෂ කාර්ය බලකාය කියයි.




