fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආයෙත් මරබිය ගෙන ආ වෛරසය 'නිපා' ලංකාවටත් එයිද?

    ආයෙත් මරබිය ගෙන ආ වෛරසය ‘නිපා’ ලංකාවටත් එයිද?

    ඉන්දියාව කළඹමින් මතුව ඇති නිපා වෛරසයෙන් ලංකාවට අවදානමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය‍ේ වසංගත රෝග විද්‍යා අංශයේ විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මේ පිළිබඳ අතිශය අවධානයකින් යුතුව සිටින නමුත් ලංකාවට මෙතෙක් අවදානම්සහගත තත්ත්වයක් මෙතෙක් මතුව නොමැති බවයි.

    මෙම වෛරසය හේතුවෙන් ඉන්දියාවේ දෙදෙනකු මේ වනවිිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 6 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටී.

    ඉන්දියාවේ ආසාදිතයන් වාර්තා වීමත් සමඟ අදාළ ප්‍රදේශවල සීමාකිරීම්, හුදෙකලා කිරීම් වැනි පියවර ගැනුණ ද දින 6ක් තිස්සේ කිසිදු ආසාදිතයකු අලුතින් වාර්තා නොවීම හේතුවෙන් එලෙස පැනවූ ඇතැමි සීමාකිරීම් ලිහිල් කළ බව එරට වාර්තා පවසයි.

    හුදකලා කිරීම සම්පූර්ණ කිරීමෙන් පසු නම් 307 දෙනකු නිදහස් කිරීමෙන් පසු පුද්ගලයින් 981 දෙනෙකු දැනට සම්බන්ධතා ලැයිස්තුවේ සිටී. සම්බන්ධතා ලැයිස්තුවේ සිටින අයට රෝග ලක්ෂණ පරීක්ෂා කිරීම සඳහා දින 21 ක හුදකලා වීමට සිදුවන බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.

    ජීවිත ලක්ෂ ගණනක් බිලිගත් ලෝකයම පීඩාවකට පත්කල කොවිඩ්-19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව සේම ලාංකික අප ද ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිරෙන බවට වාර්තාවෙන නිපා (Nipah) වෛරසය පිළිබඳ තරමට භීතියට ලක්ව සිටිමු.

    මේ තත්වය පිළිබඳව මේ වනවිට තහවුරුව පවත්නා විද්‍යාත්මක කරුණු පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පහත පරිදි විස්තර කර තිබේ.

    මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති මෙම නිපා (Nipah) වෛරසය,1999 වසරේ දී මුල්වරට හඳුනාගැනෙන්නේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිරගිය අවස්ථාවේ දීය. වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන් ඔවුන්ගේ පටක, ශරීර තරළ සහ මළ මූත්‍රාමගින් එවර මිනිසුන්ට රෝගය බෝවී ඇත.

    ඉන් අනතුරුව මැලේසියාවෙන් නැවත රෝගීන් වාර්තා නොවුවත් 2001 දී බංග්ලාදේශයෙනුත් නැගෙනහිර ඉන්දියාවේ කලින් කලටත් මෙම රෝගය පැතිර යෑම් සිදුවී තිබේ. මෙවර අවධානයට ලක්ව තිබෙන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවටයි.

    ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග /යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීමයි.

    දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල අය වීම විශේෂයෙන්ම සඳහන් කල යුතුයි.

    යම් හෙයකින් වෛරසය මිනිසෙකුහට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම, සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මෙන්ම මාරාන්තික මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) තත්වයක් දක්වා පුලුල් පරාසයක තත්වයන් ඇතිවීමට ඉඩ කඩ තිබේ.

    වෛරසය සිරුරට ඇතුලු වී දින 4 – 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වෙනවා. හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදයි.

    මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වාගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වීම වළක්වා ගැනේ. මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නැත.

    යම් ප්‍රදේශයක නිපා (Nipah) රෝගය පැතිර යන අවස්ථාවල දී ඊට අදාළව මහජන සෞඛ්‍ය උපදෙස් නිකුත් කෙරෙන අතර ලාංකික අප නිසි දැනුමෙන් සවිමත්ව සහ අවධානයෙන් යුතුව පසුවීම මේ අවස්ථාවේ දී ප්‍රමාණවත් ය.

    ඉදිරියේදී පවත්නා තත්වයේ වෙනසක් ඇතිවුවහොත් හෝ මේ පිළිබඳව විද්‍යාත්මක දැනුම යාවත්කාලීන වීමක් සිදුවුවහොත් කඩිනමින් ඔබව දැනුවත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සූදානමෙන් සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    පෙර ලිපිය
    ඊළඟ ලිපිය

    ඔබේ අදහස් දක්වන්න.