චීනය සහ යුරෝපය අතර මූලික අවශ්‍යතා පිළිබඳ ගැටුමක් හෝ භූ දේශපාලනික ගැටුමක් නොමැති බව චීන අගමැති ලී ච්‍යං මහතා පවසයි.
ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිමත් සහ ස්ථාවර සංවර්ධනය සඳහා යුරෝපය සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව ද හෙතෙම කියාසිටී.
චීන අගමැතිවරයා මේ අදහස් පළකළේ, G20 සමුළුවට සමගාමී ව ඊයේ (10) යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා හමු වූ අවස්ථාවේ දී ය.
චීනය සහ යුරෝපය යනු ලොව ප්‍රධාන බලවේග දෙකක්, වෙළඳපොළ දෙකක් මෙන්ම වැදගත් ශිෂ්ටාචාර දෙකකි.
මේ නිසාම, යුරේසියානු මහාද්වීපයේ ගෝලීය ස්ථාවරත්වය සහ සමෘද්ධිය චීන-යුරෝපා සබඳතා මත රඳා පවතින බව ලී ච්‍යං මහතා පැවසීය.
සමෘද්ධිමත් සහ ස්ථාවර යුරෝපයක් දැකීම චීනයේ අපේක්ෂාවයි. යුරෝපය සමග සංවාද සහ හුවමාරු තවදුරටත් ශක්තිමත් කරමින් සංවේදී ගැටළු නිසි ලෙස හැසිරවීමට චීනය සූදානම් බව ද හෙතෙම සඳහන් කළේය.
යුරෝපා සංගමය චීනයේ විශ්වසනීය මිතුරෙකු බවත්, සමෘද්ධිමත් චීනයේ සංවර්ධනය පාලනය කිරීමට යුරෝපා සංගමයට කිසිදු අදහසක් නොමැති බවත් Charles Michel මහතා මෙහිදී පැවසීය. යුරෝපා සංගමය, එකම චීනය මූලධර්මය අනුගමනය කරයි.
එමෙන්ම, සාර්ථක යුරෝපා-චීන සමුළුවක් පැවැත්වීම, විවිධ ක්ෂේත්‍රවල සංවාද හා සහයෝගිතා පුළුල් කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට සූදානම් බව ද ඔහු කියාසිටී.