fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුහුණු නාවිකයන්ට සුභ ආරංචියක්

    පුහුණු නාවිකයන්ට සුභ ආරංචියක්

    ලෝකයේ විශාලතම නැව් සමාගමක් වන Far Shipping සමාගම විසින් ශ්‍රී ලාංකික පුහුණු නාවිකයන් සඳහා රැකියා අවස්ථා ලබාදීමට එකඟතාව පල කර තිබේ.

    ඒ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ ඊයේ (02) දින එම සමාගමේ කලමණාකාර අධ්‍යක්‍ෂක යූ යොන්ග් ජුන් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.

    මෙහිදී යූ යොන්ග් ජුන් මහතා කියාසිටි‍යේ ශ්‍රී ලාංකික පුහුණු තරුණ නාවිකයින් රැසකට චීනයේ පිහිටි තම සමාගමේ රැකියා අවස්ථාවන් ලබා දීමට හැකි බවයි.

    එහෙයින් එම බඳවා ගැනීමේ ක්‍රමවේදයන් පිලිබඳව ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ නියැලෙන පාර්ශවකරුවන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්චා කරන බවද පැවසීය.

    ජුන් මහතා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ නාවික අභ්‍යාස ආයතනවලින් ඉගනුම ලබා පිටවන තරුණ තරුණියන්ට රැකියා පුහුණුව මත තම සමාගමට බඳවා ගැනීමටත් ඉන් අනතුරුව ස්ථීර සේවය සඳහා බඳවා ගැනීමටත් තම සමාගම කැමැත්ත පල කරන බවයි.

    ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය යටතේ තිබෙන මහපොල සමුද්‍රීය විද්‍යාතනය මගින් මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන මඟින් සහ මොරටුව විශ්ව විද්‍යාලය මගින්ද නාවික ‍ක්ෂේත්‍රයන්හි ගුණාත්මක කණ්ඩායමක් සෑම වසරකම පුහුණු කරන බවත් අවශ්‍ය නම් ඔවුන් සඳහා චීන භාෂාව ඇතුලත් පාඨමාලාවක් ලබා දී චීන භාෂාව පිලිබඳව ප්‍රවීනත්වය ලබා දීමට හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කලේය.

    අතීතයේ සිටම චීනය මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට උදව් කර ඇති බව සිහිපත් කල අමාත්‍යවරයා විශේෂයෙන් මෙරට තරුණ තරුණියන්හට නාවික හා විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථාවන් ලබා දීම පිලිබඳව ශ්‍රී ලංකා රජයේ සහ විෂයභාර අමාත්‍යවරයා ලෙස කෘතවේදීත්වය පළකළේය.

    ඔබේ අදහස් දක්වන්න.