මෙරටින් මේ වන විට වාර්තා වී ඇත්තේ ‘Meningococcal’ ආසාදන දෙකක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
ඒ වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) විසින් සිදුකරන ලද පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුවයි.
මේ වන විට වාර්තා වී ඇත්තේ ආසාදිතයන් දෙදෙනාගෙන් එක් ආසාදනයක් ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ අතර, අනෙක් ආසාදනය කොළඹින් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGHS) වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කීය.
දෙවන රෝගියා ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඔහු සුවය ලබන බවට වැඩිදුරටත් සහතික වෙමිනි.
එසේ වුවත් කොළඹ දිස්ත්‍රික්කය පුරා එම බැක්ටීරියා ආසාදනය ව්‍යාප්ත වී නොමැති බව හෙතෙම කියයි.
මෙනින්ගොකොකල් බැක්ටීරියා ආසාදනය සහ එය පැතිරෙන ආකාරය පිළිබඳව අදහස් දක්වමින් MRI හි ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ වෛද්‍ය ලිලානි කරුණානායක මහත්මිය පැවසුවේ, “බැක්ටීරියාව බොහෝ විට ව්‍යාප්ත වන්නේ කෙළ සහ සෙම හරහායි. බොහෝ විට, එය එකිනෙකාට සමීපව සිටින අය අතර පැතිරෙයි. එය සමස්ත ප්‍රජාව තුළට වඩා නිවසක් තුළ පැතිරීමට ඇති ඉඩකඩ වැඩිය. ” යනුවෙනි.