fbpx
තවත්
    මුල් පිටුවspecialඅලුත උපන් බිළිඳන් මැරූ බ්‍රිතාන්‍යයේ බිහිසුණුම දාම ඝාතක හෙදිය

    අලුත උපන් බිළිඳන් මැරූ බ්‍රිතාන්‍යයේ බිහිසුණුම දාම ඝාතක හෙදිය

    • “ඇය හරිම නිහඬ, කාරුණික කෙනෙක්’ -සමීපතමයන්
    • “උන් ඔක්කොම මැරුවේ මමයි. මොකද මම දේවතාවියක් නෙවෙයි, මම යක්ෂණියක්” -ලෙට්බිගේ සටහනක්
    • නඩුවේ බරපතළකම නිසා තීන්දුවෙන් පසු, ජූරියම විසුරුවයි

    බ්‍රිතාන්‍යයේ රෝහලක නොමේරූ ළදරු ඒකකයක බිළිඳුන් 7දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එහි සේවය කළ හෙදියක වන ලුසී ලෙට්බි එරට අධිකරණය හමුවේ වැරදිකාරිය වී තිබේ.

    ලොවක් කම්පා කරවූ 33 වියැති මෙම වරදකාරිය, නූතන යුගයේ ළමා දාම ඝාතකයකු බවට දැනටමත් හංවඩු ගසා අවසන් ය.

    බ්‍රිතාන‍යේ දීර්ඝතම මිනීමැරුම් නඩුව

    ඇය විසින් හිතාමතාම ළදරුවන්ට වාතය එන්නත් කර, බලහත්කාරයෙන් අන් අයගේ කිරි පොවා, ළදරුවන් දෙදෙනෙකුට ඉන්සියුලින් එන්නත් කර මෙම ඝාතන සිදුකර ඇති බවට අධිකරණය හමුවේ සනාථ වී ඇත්තේ එරට දීර්ඝතම මිනීමැරුම් නඩු විභාගයේදී ය.

    ලෙට්බි නොමේරූ ළදරු ඒකකයේ හෙදියක් ලෙස සේවය කරමින් සිටියදී රෝහල්ගත කළ ළදරුවන් 4,000 ක් පමණ රැකබලා ගැනීම පිළිබඳ රහස් පරීක්ෂකයින් දිගටම සමාලෝචනය කරයි. 2015 සිට සිදුවූ සැකසහිත බිළිඳු මරණ පිළිබඳ නඩුවේදී අවධානය යොමු කර ඇත.

    විමර්ශනය රහසිගතව

    ඇය සේවය කරන අතරතුර එම ඒකකයේ බිළිඳන් හිටිහැටියේම මියයාම ඉහළ ගොස් ඇති අතර මේ පිළිබඳ අවධානය යොමු කළ වෛද්‍යවරුන් දිගු කාලයක් අධීක්ෂණයෙන් අනතුරුව පොලීසියට කළ කරුණු දැක්වීමකින් පසුව පොලිස් නිලධාරීන් රහසිගතව වසර 2ක් පමණ දීර්ඝ විමර්ශනයක් කර ඇත.

    එහෙත් හෙදියට එරෙහි චෝදනා විමර්ශනය කිරීමට රෝහල් ප්‍රධානීන් අසමත් වූ බවත් වෛද්‍යවරුන් නිහඬ කිරීමට ඇය උත්සාහ කළ බවත් ලෙට්බි සේවය කළ ඒකකයේ ප්‍රධාන උපදේශකවරයා විදෙස් මාධ්‍යයට පවසා තිබේ. ඇය සෑම තරාතිරමකම පුද්ගලයන් ඇසුරු කළ නිසාත් ඇය ඉතා දක්ෂ ලෙස තම වැරදි, සාක්ෂි වසන් කළ නිසාත් මෙතෙක් කලක් ඇයට නිදැල්ලේ සිටීමට හැකිවී ඇති බවට ද විදෙස් මාධ්‍ය පවසයි.

    හෙදිය අත්අඩංගුවට ගෙන තිබූණේ සාධාරණ සාක්ෂි සනාථ වීමෙන් පසුවයි.

    නඩුවේ බරපතළකම නිසා තීන්දුවෙන් පසු ජූරියම විසුරුවයි

    ලෙට්බි, මුලින් හියර්ෆෝර්ඩ්හි සිදුවූ බව කියන තවත් බිළිඳුන් දෙදෙනකු මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා දෙකකට වැරදිකරු නොවූවාය.

    තවත් බිළිඳුන් 6ක් මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීමට ජූරි සභාවට නොහැකි විය.

    නඩු පවරන ලද නිකොලස් ජොන්සන් කේසී, මෙම ඉතිරි ගණනය කිරීම් හය සඳහා නැවත විභාගයක් ඉල්ලා සිටින්නේද යන්න සලකා බැලීමට දින 28 ක කාලයක් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ජූරි සභා ප්‍රධානියා ඉතිරි චෝදනා හයේ තීන්දුව නැවත ලබාදිය නොහැකි බව පැවසූ විට බිළිඳකුගේ පවුලක එක් සාමාජිකයෙක් උසාවියෙන් පිටව ගියේය. ජූරි සභිකයන් කිහිප දෙනෙක් වික්ෂිප්ත, කනගාටු වූ බවට පෙනෙන්නට තිබී ඇත.

    මෙම නඩුව විභාග කළ ජූරි සභාවේ ප්‍රධාන විනිසුරුවරයා, පිරිමි හතර දෙනෙකුගෙන් සහ කාන්තාවන් හත් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයට පැවසුවේ මෙය ‘වඩාත් දුක්ඛිත හා කැළඹිලි සහගත නඩුවක් වූ’ බැවින් මෙම විනිසුරුවරුන් අනාගතයේදී ජූරි සභාවල සේවය කිරීමෙන් නිදහස් වූ බවත්ය.

    මෙම නඩුවට චූදිත හෙදිය සහභාගි වී නැති අතර ඇය නොපැමිණීමට හේතු විනිසුරුවරයා විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.

    කාරුණික මුහුණ යට සිටි යක්ෂණිය

    ලුසී ලෙට්බි, ඇයගේ සමීපතමයන්, අසල්වැසියන්, පවුලේ අය පවසන පරිදි ඉතා කාරුණික, නිහඬ, දරුවන්ට වඩාත් ළෙංගතු සිතැත්තියකි. සූක්ෂම බුද්ධියක් ඇති ඇය හෙදියක වීමටම සිහින මැවූ විෂයෙහි අතිදක්ෂ සිය පවුලේ පළමුව සරසවි වරම් ලබා උගත්කමෙහි ද හපන්කම් දැක්වූවා ය. ඇයගේ මනසෙහි නිතර තිබුණේ සිය වෘත්තිය හරියටම කරගෙන යාම පමණක් බව ද පවුලේ අය පවසා තිබුණි.

    ලුසී ලෙට්බි කුඩා කාලයේදී

    ඇයගේ චරිතය තුළ බොහෝ පැති තිබුනත්, ඇය බ්‍රිතාන්‍යයේ කෲරතම දාම ඝාතකයෙකු තබා, ඇය කුමන්ත්‍රණකාරී, සූක්ෂම මිනීමරුවෙකු බව ඇයව හමු වූ කිසිවකුට අනුමාන කළ නොහැකි විය. ඇය එතරම්ම කාරුණික තැනැත්තියක බව අසල්වැසියන්ගේ අදහසයි. උපන්දා සිටම ඇය දකින ඇසුරු කරන අසල්වැසියන්ට තවමත් ඇය‍ට එල්ල වූ චෝදනා චෝදනාම පමණි.

    එහෙත් ඇයගේ සාමකාමී චරිතය තුළ සැඟවුණු පැතිකඩ බොහෝ අඳුරු ය. ලෝකයා කාරුණිකව දකින නිහඬ ඇය තමා හඳුන්වා දෙන්නේ ‘නපුරියක’ ලෙසයි.

    බිළිඳුන් මරන්න යොමුවෙන්න හේතුව ‘ආදරය?’

    විමර්ශනය සිදුකළ රහස් පරීක්ෂකයන්ට පෙනී ගිය එක් සුවිශේෂී රටාවක් ඇයගේ හැසිරීමෙන් පෙනෙන්නට විය. එනම්, බිළිඳු මරණයක් සිදුවූ විට ඇගේ කාර්ණික බව අභිබවා තරමක දුෂ්ට ස්වභාවයක් මතුවන්නට වීමයි. ඇය තමා හසුනොවීමට මඟ අවුරන ආකාරය ඉතාම සාර්ථක අයුරින් කළ බව ද විමර්ශකයන්ට පෙනීගිය තවත් කරුණකි.

    ඇයගේ නිවස සෝදිසි කිරීමේදී ඔවුන් විස්මිත සොයාගැනීම් මාලාවක් සිදු කරන ලදී. එනම් මරණ සඳහා වරදකාරිත්වය සහ හැකි අභිප්‍රේරණය යන දෙකම පෙන්නුම් කරන කෙටි සටහන්, sticky notes ආදියයි.

    ඇය ලියූ සටහන්

    ‘මමයි ඒක කළේ’ ‘මම යක්ෂණියක්’ යනාදි සටහන් ඒ අතර විය.

    තවත් සටහනකින් පෙනී ගියේ කිසිදා ආදරය නොලැබේ යැයි ඇය තුළ දැඩිව නිධන්ව තිබූ බිය පෙන්නුම් කරන සටහන් ය.

    ‘මාව හොඳ මදි’ ‘මට කවදාවත් විවාහ වෙන්නේවත් දරුවන් හදන්නේවත් බැරිවේවි’, ‘පවුලක් ඉද්දි කොහොම ඇත්ද කියලා මම කවදාවත් දැනගෙන හිටියෙත් නෑ දන්නෙත් නෑ’ ඇය ලියා තිබුණි.

    සමාජයේ කැපී පෙනෙන චරිතයක්

    ඇයගේ විවේක කාලය තුළ ඇය නව නොමේරූ ළදරු ඒකකයක් ගොඩනැගීම සඳහා රෝහලේ පුණ්‍ය කටයුතු වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට උදව් කළාය. එම අරමුදල පවුම් මිලියන 2 කට වඩා වැඩි මුදලක් රැස් කර ගත් අතර 2013 මාර්තු මාසයේදී ලෙට්බිගේ ලිපියක් ප්‍රාදේශීය පුවත්පතක ද පළවිය.

    තවත් පුවත් ලිපියක ඇය සිනහසෙමින් ළදරු ඇඳුමක් ඔසවාගෙන සිටින ආකාරය ද ඡායාරූපගත කර ඇති අතර ඇය මෙසේ පවසා තිබුණාය. “මගේ කාර්යභාරය වන්නේ විවිධ මට්ටම්වල සහය අවශ්‍ය පුළුල් පරාසයක ළදරුවන් රැකබලා ගැනීමයි. ඔවුන් දියුණු වෙනවා දැකීමත් ඔවුන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීමත් මම සතුටු වෙනවා.”

    සමාජ මාධ්‍යවල, ඇය අසනීප දරුවන් සඳහා සහය දෙන විවිධ වැඩසටහන්වලට මෙන්ම ‘සෑම මිනිත්තුවකම එක් උපතක්’ යන චැනල් 4 මාතෘ ඒකක පිළිබඳ වැඩසටහන් පසුහඹා ගිය බව පෙනීගොස් ඇත.

    අමුතු හැසිරීම්

    තවමත් නිවැරැදිව අනාවරණය කරගත නොහැකි තරමේ අභිරහස් බිළිඳු මරණ ද ඇති බව නඩුවේදී අනාවරණය වියත ඒවා ඇය අතින් පමණක් සිදුවූ බවට කිව හැකි නමුත් එය කෙසේ කළේදැයි අනාවරණය වීම ඇය සූක්ෂමව ආවරණය කළ බව පෙනී යයි. මෙම බිළිඳු මරණ වාර්තා වූ හෝ මරණයට තැත්කිරීම් වාර්තා වී ඇති සෑම දිනයකටම පසුව ඇයගේ හැසිරීම් රටාව විශේෂ වූ බව විමර්ශකයෝ පෙන්වා දෙති.

    ඇය එවැනි ක්‍රියාවකින් පසුව දුෂ්ට ගතිපැවැත්මක් පමණක් නොව, වඩා වැඩියෙන් සතුටු වන ආකාරයක් පෙනීගොස් ඇති බවට සමාජ ජාල සිසාරා හමුවූ සාක්ෂි අතරින්ද තහවුරු වී තිබේ.

    එවැනි සිද්ධියක් අවසානයේදී ඇගේ සතුට ප්‍රකාශ කිරීම යම් ආකාරයක රටාවක් බවත් එය තරමක් ‘අසාමාන්‍ය’ බවත් ඔවුන්ගේ අදහසයි. එය කෲරත්වයෙන් පසුව සතුටුවන මානසිකත්වයකට සමාන යැයි ද විමර්ශකයන් පවසා ඇත. බිළිඳු මරණයක් සිදුකිරීමට පෙර ද තමා ඉතා සාමකාමීව පාඩුවේ විසූ බවට පෙන්විය හැකි ආකාරයට ඇය සාක්ෂි සහිත වන ලෙස ක්‍රියා කොට ඇත. සමාජ ජාලයේ සේයාරූ වීඩියෝ තමා පළ නොකළත් යාලුවන් ලවා හෝ පළකිරීමට ඇය සූක්ෂ්ම වී ඇත.

    සමාජජාලයේ රහස් ඔත්තුකාරී

    බිළිඳු මරණ වූ පසුව ලෙට්බි එම බිළිඳන්‍ගේ පවුල්වල අයව සමාජ ජාලය තුළ සොයාගොස් ඔවුන්ගේ හැඟීම්, හැසිරීම් රටා ඉතා සමීපව නිරීක්ෂණය කර ඇත. ඇය බොහෝ වාරයක් එම පවුල්වල සාමාජිකයන් අන්තර්ජාලය ඔස්සේ පසුහඹා ගිය බවට විමර්ශකයන්ට තොරතුරු ලැබී ඇත.

    තම බිළිඳුන්ගේ මරණවල ඛේදවාචකය පිළිගත නොහැකිව අරගල කරන දෙමාපියන් ඉදිරියේ ඇයගේ හැසිරීමද තරමක වෙනස් ය. එය කිසිසේත්ම අවස්ථාවට නොගැලපෙන එකකි. එනම්, සති 11ක් වයසැති බිළිඳා මළ පසු දෙමාපියන් තවමත් අඬන විට දරුවා පළමු වරට තමා විසින් සෝදා නෑවු ආකාරය පිළිබඳ සතුටු මතකයන් ආවර්ජනය කරමින් සිනාසීමට ද ඇය ක්‍රියා කොට තිබේ.

    කෙසේහෝ වේවා විමර්ශකයන්ට ද ජූරියට පැහැදිලි කළ නොහැකි අවස්ථාවක් තිබුණි. ඒ ඇයගේ කෝපාවිෂ්ට, දරුණු ගති පැවති අවස්ථාවන් කිසිවකුගෙන් හෝ අනාවරණය කරගැනීමට නොහැකි වීමයි. ‘නමුත් අප ඇයගේ කිසිවකු නොදුටු පැත්තක් අනාවරණය කරගත්තා’ යනුවෙන් පවසමින් ඇයගේ සටහන් හා ඇයගේ හැසිරීම්වල අමුතු අවස්ථා හුවා දක්වා තිබුණි. කුඩා කල සිට තමන් දන්නා කිසිවකුත්, අවට කිසිවකුත්, ජූරියක් ද නොමඟ යැවීමට තරම් ඇයගේ චරිතය නාටකාකාර විය. අවසානයේ නව යෞවනියක තබාගන්නා ආකාරයේ සැරසූ ඇයගේ කාමරයේ ඇයම ලියා තැබූ සටහන් සියල්ල සනාථ කිරීමට තරම් ප්‍රබල විය. ඒවා සොයාගැනීම විමර්ශකයන්ට පහසු වී නොතිබුණි.  කෙසේනමුත් ළමා දාම ඝාතකයකු වූ ඇයගේ දඬුවම කුමක් ද යන්න ලබන සඳුදා බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.