දකුණු පළාතේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය හා ජාතික පද්ධතිය සම්බන්ධ කිරීමට බාධාවක්ව පවතින ඉඩම පිළිබඳ සමස්ථකරණ සාකච්ඡාවක් අද (11) පැවැත්වෙන බව
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි.
එම කොමිසම පැවසුවේ ඒ සඳහා පත් කළ කමිටුවක් විසින් එම සාකච්ඡාව කැඳවා ඇති බවයි.
ඊට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් හා අදාළ ඉඩමේ හිමිකරුවන් කැඳවා තිබේ.
දකුණට විදුලිය ලබා දීම සඳහා කිලෝ වෝට් 220 ක් බලැති රැහැන් පද්ධතියක ඉදි කිරීම් මේ වනවිට අවසන් අදියරට ළඟා වී ඇතත් එය දකුණු පළාත හා සම්බන්ධ කිරීමට නොහැකි වී ඇත්තේ මීටර් 600 ක පමණ දුරක් රැහැන් පද්ධතිය ගමන් කරන පෞද්ගලික ඉඩමක හිමිකරුවෙකු ඒ සඳහා රජයෙන් ඉල්ලා සිටින වන්දිය හේතුවෙන් ය.
විදුලි බල මණ්ඩලය ඉඩම සඳහා රුපියල් ලක්ෂ 16 ක් ගෙවීමට නිර්දේශ කළද ඉඩම් හිමිකරු ඊට ඉල්ලා සිටින මුදල රුපියල් ලක්ෂ 96 කි.
මෙම තත්ත්වය හේතුවෙන් කිලෝවෝට් 220 ක විදුලි ධාරීතාවක් දකුණට සම්ප්‍රේෂණය කර නොහැකි වී ඇති අතර වියලි කාලගුණයත් සමග සමනල වැව ජලාශය සිඳී යන අවස්ථාවලදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමට සිදුව තිබේ.