fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ණය පොලී අනුපාත තවත් අඩුකරන්න මහබැංකුවෙන් පියවරක්

    ණය පොලී අනුපාත තවත් අඩුකරන්න මහබැංකුවෙන් පියවරක්

    ලබන 16 වැනිදායින් පසුව වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමටත්, ආර්ථිකයට ගලා යන ණය ප්‍රවාහ ප්‍රසාරණය කිරීමටත් හැකි වන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ ගත් තීරණය ක්‍රියාත්මක වීමෙන් පසුව වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

    බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ලබන 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට මෙලෙස තීරණය ක‍ර තිබේ.

    මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව සැපයීම සහ වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම මඟින් දේශීය මුදල් වෙළඳපොළ වෙත රුපියල් බිලියන 200 ක පමණ ද්‍රවශීලතාවක් මුදාහැරීමට අපේක්ෂා කරයි.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදෙනු ඇති බවට මහබැංකුව අපේක්ෂා කරයි.

    ඊට අදාළව මහ බැංකුව විසින් වෙළඳපොළ වර්ධනයන් අඛණ්ඩව අධීක්ෂණය කරනු ඇත.

    අවශ්‍ය වුවහොත් වෙළඳපොළ ණය අනුපාතික අඩු වීමේ ශීඝ්‍රතාව තහවුරු කිරීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ද ගන්නා බව මහබැංකුව කියාසිටී.

    ඔබේ අදහස් දක්වන්න.